Celebrity Gossip

ඇය සතු සියල්ල හැරදාලා විවාහ දෙකකින් වෙන් වුන මං ලගට ඇය ආවා- මධුමාධව බිරිද ගැන කියූ කතාව​

මධුමාධව අරවින්ද කාලෙන් කාලෙට කතා බහට ලක් වෙන කෙනෙක් විදියට හඳුන්වල දෙන්න පුළුවන්. බොහෝ සෙයින් විවෘතව අදහස් ප්‍රකාශ කරන මධුමාධව අරවින්දගේ පෞද්ගලික ජීවිතය, කලා ජීවිතය හා දේශපාලනය ජීවිතය පිළිබඳව පසුගිය දවසක පුවත්පතකට අදහස් දක්වන තිබුනෙ මෙහෙමයි. මේ කතාබට ඔහුගේ ආදරණීය බිරිඳ නිලූකාත් එකතු වෙලා තිබුණා.

මධුමාධව අරවින්ද කියන දේශපාලනඥයාට වඩා මිනිස්සු ආදරය කරන්නේ ගායකයාට නේද  කියල අහපු​ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මේ වගේ දෙයක්. “ගායකයා කියන තැනදී මාව මිනිස්සු පරදවලා නැහැ. පැරදුණේ මගේ මතයයි. නමුත් මේ වසර 73ටම මේ රටේ ගායකයෙක් ගත්ත වැඩිම ඡන්ද ප්‍රමාණය ගත්තෙ මමයි. විවිධ වූ දේශපාලන පක්‍ෂ නියෝජනය කරමින් ජනප්‍රිය ගායකයෝ ඡන්දය ඉල්ලුවාත් ඒ අයට ඡන්ද 5000, 7000ක් ගන්න බැරි වුණා. මම ඡන්ද අපේක්‍ෂකයෙක් විදියට ඉල්ලුවෙ මගේ මතයට එකඟ අයට විතරක් ඡන්දය දෙන්න කියලා. අන්‍ය ජාතීන්ගේ ඡන්දය මම​ එපා කියලා කිව්වා. එතැනදී මගේ මතයට එකඟ වූ අය මට ඡන්දය ලබා දුන්නා. එදා මෙදා තුර ඡන්දය ඉල්ලූ ගායකයන්ගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ මට. ඒ වගේම​ මම කවදාවත් මගේ දේශපාලන වේදිකාවට කිසිම කලාකරුවෙක් නග්ග ගත්තේ නැහැ. අහවල් තරුව මගේ වේදිකාවේ හිටිය නිසා මට ඡන්දය ලැබුණා කියන දේ අහන්න මට ඕන නැහැ.”

මෙහිදී මධු තම බිරිය නිලූව ‘යකඩ රෝස මල’ කියලා හඳුන්වන්න හේතුව මෙහෙම සඳහන් කරලා තිබුණා. “යුරෝපයේ ඉඳලා සියල්ල අතඇරදාලා ඈ මෙහෙ එන්නෙ මං වෙනුවෙන්. බාහිර ලෝකයා කියන කතා මට වගේම ඇයටත් අදාළ නැහැ. ඇයට මගේ අතීතය නොවෙයි වැදගත් වුණේ මගේ ආදරයයි. යම් යම් දේ නිසා හැමෝම අපහාස කරමින් සිටි මගේ ජීවිතයට ඇය ඇතුළු වුණා. හැමෝටම නොදන්නා කතාවක් ඒ අයගෙ ජීවිත තුළ තියෙනවා. මගේ බිරිය නිලූටත් ඒක​ එහෙමයි. අම්මා, තාත්තා දෙන්නම නැති ඇය සමාජය කියන විදියට චරිතය හොඳ නැති මං ගාවට එනවා. විවාහ දෙකකින් වෙන්වුණ නරකයි කියන මට ආදරය කරනවා. ඇයට දැනෙන්න ඇති මිනිස්සු කියන කතා ඇත්ත නෙවෙයි කියලා. ඇය සතු සියල්ල හැරදාලා ඇය ආවෙ කෝටිපතියෙක් ළඟට නෙවෙයි. ඇය මගේ රිදුණු සිත සුවපත් කරද්දී බාහිර කිසිවක් ඇයට වැදගත් වුණේ නෑ. ගැහැනියක් සතු ලාලිත්‍ය එක්කම ඕනෑම අභියෝගයකට ආදරණීයව මුහුණ දෙන ඇය මට “යකඩ රෝස මලක්.”

මවට බොහෝ සෙයින් ආදරය කරන පුතෙක් තමයි මධූ කියන්නේ.  ඔහු කියන විදියට මවට පසුව ඔහු ගරු කරන, ප්‍රිය කරන ගැහැනුන් අතර දැකපු නොදැකපු ගැහැනු අය වගේම, දැකලා අමතක කරන්න බැරි අරුම පුදුම​​ ගැහැනුන් අතර ඔහු  වැඩියෙන්ම ප්‍රිය කරන්නේ ඔහුගේ බිරියටලු.  

ඒ අතරම නිලූ මධුගේ ආදරය හා ඔවුන් දෙදෙනාගේ හමුවීම ගැන කියලා තිබුණේ මෙන්න මේ වගේ දෙයක්. “ඇත්තටම මගේ හිත මධු ළඟ නතර වුණේ මට වයස අවුරුදු 15දී. එතකොට මධු ප්‍රසිද්ධ තරුවක්. මං මධුට හීන ලෝකෙදිත් ගොඩාක් ආදරය කළා. ඒත් මට මධුව හම්බ වෙලා කතා කරන්නවත් ලැබිලා නැහැ. මම අවුරුදු දහසයෙන් ලංකාවෙන් යනවා. ඒත් මධු ගැන ආදරය ඒ විදියටම හිතේ මුල්ලක තිබුණා. අපි දෙන්නා හම්බවෙලා අවුරුදු දෙකකට පස්සේ තමයි මධු මට විවාහ යෝජනව කළේ. එතකොටත් ඔය දවස වෙනකල් ඉඟියක්වත් තිබිලා නෑ. මං එයා හින්දා වෙනස් කෙනෙක් වුණා. විවාහ වෙනවා කියලා හිතපු නැති, කවදාවත් ලංකාවට එන්නෙ නෑ කියලා හිතපු මාව සම්පූර්ණයෙන් වෙනස් කළේ මධුගෙ ආදරයයි. මධු ළඟ තියෙන්නෙ අසීමිත ආදරයක්. ඒ ආදරය ඇතුළේ රැකවරණය තියෙනවා. ඒ වගේම මධු කවදාවත්ම මට​ බොරු කියලා නෑ. ඒක තමයි අපි මේ තරම් දුර  අරන් ආව හේතුව​. අනික අපි හම්බ වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලම අද වෙනකල් තිබුණ විශ්වාසය එක​ සිතුවිල්ලකින්වත් වෙනසක් වෙලා තියෙනවා දැනිලා නැහැ.”

ඉතින් ඒ වගේම  FB පිටුවේ ලියලා තිබුණ සටහනක් වන  ‘මධුට හැමදාටම ඉන්න දරුවා ස්වේතා විතරමයි’ ගැනත් ඇය මේ විදියට සඳහන් කරලා තිබුණා. “ආදරය කියලා කියන්නෙම පරිත්‍යාගයක්. අපි දෙන්නා අපේ ජීවිත ගැන රටවල් දෙකක ඉන්න කාලෙ ඉඳලම ඇති වෙන්න කතා කළා. එක ගෙදරක ඉන්න දෙන්නෙක්ට වඩා අපි දෙන්නා රටවල් දෙකක ඉඳලා අපි ගැන කතා කළා. අපි කතා කරපු රැයවල් දිගු වුණා. ඒ කතා ඇතුළේ මධු ස්වේතාට තියෙන ආදරය මං දැනගත්තා. මධු කැමැති වුණේ නෑ තව දරුවෙක්ට ආදරය දෙන්න. මම මධුගෙ බිරිඳ​ හැටියට​ එතැනදී මට ආත්මාර්ථකාමී වෙන්න බැහැ. මම එයාගෙ හැම කෙනෙක්ටම ආදරය දෙනවා.

දවසක මධු මට කලින් ජීවිතේ සමුගත්තොත් මධුගෙන් ස්වේතාට යමක් හිමිවෙන්න තියෙනවා නම් ඒ යුතුකම් මම කරනවා. ස්වේතා මට මගේම​ දුවෙක්. මාව මොන විදියට දැක්කත් පෙරලා කිසිවක් බලාපොරොත්තු නොවී ඇයට මම අදරය කරනවා. ඒ වගේම යම් දවසක ඇය මගෙන් තාත්තාව ඉල්ලුවොත් අහිතක් නැතිව මම මධුව ඇයට දෙනවා. මධු කැමැතිද නැද්ද කියන දේ අනුව මම එහෙම කරනවා. මොකද තාත්තා කියන්නේ දරුවෙක්ට තියෙන ලොකුම වස්තුව. ඒ තැන වෙන කාටවත් replace කරන්න බැහැ.” කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.