Uncategorized

“මගේ ඇත්ත ස්වරූපය වසන් කරන්න මට ඕන නැහැ”-පිරිමින්ටත් වඩා පිරිපුන් රැවුලක් ඇති ලෝකයේ ලාබාලම කාන්තාව

රැවුලක් කියපු ගමන් අපිට මතක් වෙන්නෙ පිරිමි කෙනෙක් නේද​? රැවුලක් කියපු ගමන් කාටවත් ගැහැණු කෙනෙක් මතක් වෙන්නේ නෑනේ. නමුත් රැවුල් වලට හිමිකම් කියන ගැහැණු අයත් මේ ලෝකේ ඉන්නවා. අද මේ ලිපියෙන් කතා කරන්නේ පිරිපුන් රැවුලකට හිමිකම් කියන ලෝකයේ ලාබාලම කාන්තාව ගැනයි.

HARNAAM KAUR උපත ලබන්නේ 1990 නොවැම්බර් 29 දින එංගලන්තයේ SLOUGH හි ජීවත් වන සාම්ප්‍රධායික ඉන්දියානු පංජාබ් පවුලක. වයස අවුරුදු 12දී ඇයට Polycystic ovary syndrome හෙවත් PCOS රෝගී තත්ත්වය ඇති බව හදුනා ගන්නවා. මෙම රෝගී තත්ත්වය කාන්තාවන්ට බොහෝම කලාතුරකින් ඇතිවන තත්ත්වයක්. සරලව කිව්වොත් මෙහිදී ඇති වෙන්නේ රෝගයකට වඩා හෝමෝන අසමතුලිතතාවයක්. පිරිමි හෝමනයක් වන Androgen හෝමනය අසීමිත ලෙස ඉහළ යාමක් තමයි මෙහිදී සිදුවන්නේ. PCOS රෝගී තත්ත්වයේ එක් රෝග ලක්‍ෂණයක් තමයි අධික ලෙස මුහුණේ හා ශරීරයේ හිසකෙස් වැඩීම ඉහළ යාම​. මෙම තත්ත්වය නිසා KAURට සම්පූර්ණ පිරිපුන් රැවුලක් වර්ධනය කර ගන්න හැකියාව තියෙනවා. දිගින් දිගටම සමාජ මාධ්‍ය වල ඇය සම්බන්ධව පලවන ලිපි සහ විවිධ මඩ ප්‍රහාර ඉවසාගත නොහැකි නිසා රැවුල විවීම ආරම්භ වූ මුල් අවධියේ කිහිප වතාවක්ම ඇය සියදිවි හානි කර ගන්න උත්සාහ කරලා තියෙනවා.

KAUR මුලදී අන් අයගේ හිරිහැර කිරිම් හේතුවෙන් ඇගේ මුහුණේ හිසකෙස් ඉවත් කිරීමට උත්සාහ කලද පසු කාලීනව ඇය සාම්ප්‍රධායික නොවන තමාට ලැබුණ පෙනුම වැළදගෙන ධනාත්මක චින්තනය පිළිබද උපදේශිකාවක් ලෙස දැනට ජනතාවට සේවය කරනවා. ඒ වගේම වයස අවුරුදු 16දී KAUR විසින් Sikh ආගමට හැරීම ඇගේ මුහුණේ හිසකෙස් ඉවත් කිරීම නැවැත්වීමට එක් හේතුවක් ලෙසද සදහන් කරලා තියෙනවා. ඇය දැන් තමාගේ පෙනුමට වඩා ආගම ගැන සිතන බවයි පැවසෙන්නේ.සාම්ප්‍රධායික Sikh ආගම කියන්නේ හිසකෙස් කැපීම තහනම් කරන ආගමක්. KAUR බොහෝ දුරට හිස් වැසුම් හෝ වෙනත් හිස් ආවරණ පැළද සිටින අතර එය Sikh ආගමේ එන Khalsa සම්ප්‍රධායේ සිරිතක්. එක්තරා සම්මුඛ සාකච්චාවකදී KAUR ඇගේ රැවුල මෙසේ වවාගෙන සිටීම සම්බන්ධයෙන් මාධ්‍යයට මෙසේ ප්‍රකාශයක් ද නිකුත් කරලා තියෙනවා.

“මම මගේ රැවුල තබාගෙන කාන්තාවක් කෙබදු විය යුතුද යන්න පිළිබද සමාජයේ ඇති අපේක්‍ෂාවන්ට එරෙහිව ඉදිරියට යාමට තීරණය කරා. මේ ශරීරය මට අයිති බව මට දැන් වැටහිලා තියෙනවා. මට ජීවත් වීමට වෙනත් ශරීරයක් නැති නිසා මම කොන්දේසි විරහිතව එයට ආදරය කරනවා. මගේ ඇත්ත ස්වරූපය සමාජයෙන් වසන් කරන්න මට උවමනාවක් නැහැ”

2016 මාර්තු මාසයේදී KAUR ව ලන්ඩන් විලාසිතා සතියේ රැවුල වවාගත් පළමු කාන්තාව බවට පත් වුනා වගේම සම්පූර්ණ රැවුලක් ඇති ලෝකයේ ලාබාලම කාන්තාව ලෙස KAUR ව 2016 සැප්තැම්බර් මාසයේ දී ගිනෙස් ලෝක වාර්ථාවට ද​ ඇතුලත් කරනු ලැබුවා. දැන් ඇගේ රැවුල අගල් 6ක් තරම් උසකින් යුක්තවන අතර රැවුල වවා ගැනීමට යොදා ගන්නා විවිධ නිෂ්පාදන සදහා වෙළද දැන්වීම් වලට පෙනී සිටීමට ඇරයුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බවයි ඇය පවසන්නේ. KAUR මේ වනවිට ධනාත්මක චින්තනය පිළිබද උපදේශිකාවක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් ද වනවා. ඒ වගේම රූපලාවන්‍ය ක්‍ෂේත්‍රය පිළිබදව ද දක්ශ උපදේශිකාවක් ලෙසත් කටයුතු කරනවා.