Celebrity Gossip

දෙවෙනි ඉනිම කියන්නේ මගේ මහගෙදර​.ඒත් දැනට මම ඒකෙන් අයින් වෙලා ඉන්න තීරණය කරා-කණිෂ්ක ප්‍රසාද්

කණිෂ්ක ප්‍රසාද් කියන්නේ වර්තමානය වනවිට ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක්. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ චබීගේ චරිතය හරහා විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් කණිෂ්ක ඔහුගේ වාසනා ගුණය වගේම දක්ෂතාවයන් හොඳින් සම්මිශ්‍රණය කරගත් රංගන ශිල්පියෙක් කිවහොත් නිවැරදියි. ඉතින් කොහොම නමුත් දෙවෙනි ඉනිමේ නිහඬ වීමත් සමඟම චබීට මොකද වුණේ කියලා කණිෂ්ක ප්‍රසිද්ධ පුවත්පත් මාධ්‍ය සාකච්ජාවකට අදහස් දක්වලා තිබුණේ මෙන්න මේ  විදියටයි.

නීල පබළු ටෙලිනාට්‍යයේ රුක්මන්ට ලැබෙන ප්‍රතිචාර ගැන ඔහු කිව්වේ මෙහෙම කතාවක්. “ප්‍රතිචාර ගොඩක් හොඳයි. චබී කියන චරිතයට වඩා වෙනස් නිසා ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියි. විශේෂයෙන් කියන්න ඕන දෙවෙනි ඉනිමේ මගේ රංගනය දැකලා නීල පබළු ටෙලි නාට්‍යයේ රුක්මන්ගේ චරිතයට  ආරාධනා කරන්නේ ලලිත් වසන්ත මහත්මයා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂක සඳුන් රාජකරුණා මහත්මයාටත් ස්තුති කරනවා මේ නිර්මාණයට මාව සම්බන්ධ කරගත්තාට.” 

කණිෂ්කට ප්‍රේක්ෂක ආදරය ජනප්‍රියත්වය මේ සියල්ල ලැබුණේ දෙවෙනි ඉනිම නිසායි. ඉතින් ඒ ගැනත් ඔහු කිව්වේ මෙහෙම කතාවක්. “අපෝ ඔව්. මම කවදාවත් මුල අමතක කරන ජාතියේ මනුස්සයෙක් නෙවෙයි. දෙවෙනි ඉනිම චබී කියන්නේ මගේ පළමු රංගනය. රංගනයේ හෝඩිය ඉගෙන ගත්තේ මම එතනින්. මිනිස්සු අඳුනගත්තෙ මාව ජනප්‍රිය කලේ එතන. දෙවෙනි ඉනිම කියන්නේ මගේ මහගෙදර සහ මම දෙවනුව ඉපදුනු තැන.”

දෙවෙනි ඉනිමේ චබීට මොකද වුණේ කියන එක කාටත් ප්‍රශ්නයක්. ඔහු ඒ ගැන මෙහෙම සඳහන් කළා. “චබී ටිකක් නිහඬ වුණා කිව්වොත් හරි . පහුගිය දවස්වල නීල පබළු ටෙලිනාට්‍යය එක්ක වේලාවක් හා දින වෙන්කර ගැනීමේ අර්බුද මතුවෙලා තිබුණා. චබී චරිතය  තාමත් අහිමි වේවි කියලා හිතන්නෙත් නැහැ. දැනට දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙන් අයින් වෙලා ඉන්න තීරණය කරලා තියෙනවා.” 

මේ විදියට දෙවෙනි ඉනිමේ චබියත් අයින් වෙලාම යාවිද. “ඒක වෙන්නත් පුලුවන්. කතාව වෙනස් විදියකට හැරිලා නැවත කතා කළොත් මම මගේ දායකත්වය දෙනවා. දැනට චබී දෙවෙනි ඉනිමේ නැහැ.  ප්‍රේක්ෂකයෝ ගොඩක් දෙනෙක් අහනවා කෝ චබී, මොකද චබීට වුණේ කියලා. මම මේ පොඩි විවේකයක් ගන්නේ.. ඉස්සරහට මම නොහිතන චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට එනවා.”

බොහොම අවධානම් කාලයක අපි හිටියත් සාමාන්‍ය පරිදි නිර්මාණ කටයුතු කරනවා. කොහොම ඉදිරි වැඩකටයුතු? “ඉදිරියට නම් ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයට මට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ චරිතයට මම මේ දවස්වල පුහුණු වීම් කරගෙන යනවා. ඒ වගේම අපේ සහෝදර රංගනශිල්පීන් ගණනාවකටම මේ වෙලාවේ කොවිඩ් අසාධිතව පීඩා විදිනවා. අපි ඉල්ලන්නේ මේ කොවිඩ් පැතිරීමේ අවදානම එක්ක මේ මොහොතේ අපිට පොඩි නිවාඩුවක් දෙන්න කියලා. අපි ගියේ නැත්නම් ටෙලිනාට්‍ය වලින් අයින් කරනවා කියනවා. අපිට ශුටින් එන්න කියලා කෑගහන කවුරුත් අපි අසරණ වුණාට පස්සේ එන්නේ නැහැ.” කියලයි ඔහු කියා තිබුණේ. ඉතින් ඒ වගේම ඔහුගේ පෙම්වතියගේ තොරතුරු ගැන ඔහු කියා තිබුණේ මෙහෙම දෙයක් “සහකාරියක් ඉන්නවා. හැබැයි ඇය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ.” කියලයි අවසාන වශයෙන් ඔහු තම පෙම්වතිය ගැන කියා තිබුණේ.