Celebrity Gossip

සින්දු කියන්න බැරි වුණ දවසක ආයේ වඩූ වැඩ පටන් ගන්නවා-අසංක ප්‍රියමන්ත පීරිස්

අපේ රටේ සින්දු අහන පිරිස් කැමතිම පීරිස් කෙනෙක් ගැන තමයි අද අපි ඔබවෙත ගෙන එන්නට සුදානම් වන්නේ. ලාංකීය ප්‍රේක්ෂක ජනතාවගේ ඕනෑම කෙනෙකුට අදාළ වෙන්නට සින්දු ගායන කර තිබෙන ගායකයෙක් විදියට මොහුව හඳුන්වන්නට පුළුවන්. ඔහු මෙතෙක් ආ ගමනේ කොහෙන් පෙරලුවොත් පිටුවක් හම්බ වෙන්නේම සින්දුවක්. ඔහු නමින් අසංක ප්‍රියමන්ත පීරිස්. ඉතින් ප්‍රසිද්ධ යුටියුබ් නාළිකාවක මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු තමන් ගැන මේ විදියට සඳහන් කර තිබුණා.

මේ දිනවල ගොඩක් අයගේ ජීවිත කොවිඩ් හින්දා වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ දවස්වල ඔබෙන් ඇහුවොත් ‘අයින් වෙලා පයින් යනවද පුතී’ කියලා ඔබ දෙන උත්තරේ මොකක්ද? “ ඕකට මට ලොකු බලපෑමකුත් වෙනවා. පුතී කියලා සමහරු මට කතා කරනවා. ඒ සින්දුව ගොඩක් ජනප්‍රියයි. එතන මම කියන්නේ පුතේ කියලා. ඒත් සමහර වේලාවට මිනිස්සු දකිනවා ගන්නවා පුතී කියලා.”ඔබ ප්‍රදේශය ගැන කිව්වොත් ? “ මොරටුමුල්ල මෝල්පෙ ප්‍රදේශයේ තමයි අපි ඉන්නේ. මොරටුමුල්ල ලී වලට ගොඩක් සම්බන්ධයි. අපි දිගටම කලේ ලී වැඩ. තාත්තා කලෙත් වඩු වැඩ. එයාගේ උදව්වට ගිහින් මම ලී කැටයම් කළා කාලයක්.”

ඉතින් දැන් ඔබ ලී වැඩ කරන්නේ නැද්ද? “ කරනවා. නමුත් කාලෙකදී අත්හරින්න සිද්ධ වුණා. ඒත් කවුරු හරි හිතවතෙක්ට අවශ්‍යතාවයක් ඇති වුණොත් උදව් කරන්න මම එක හෙළා බැඳී ඉන්නවා.” ඒ වගේම පත්තර වල දැක්කම දුවත් කසාද බැඳලා ගියා ටික දවසකින් සීයා කෙනෙක් වෙනවා කියලා අපිට මැව්නේ ටිකක් හරි තලත්තෑනි චරිතයක්. නමුත් ඇත්තටම මීට අවුරුදු ගණනකට කලින් දැකපු රුවම තවමත් ඔබෙන් දැකගන්න පුළුවන්. “ ස්තුති එහෙම කිව්වට. ඇත්තටම ගොඩක් හිතෛෂීකම මනුස්සකම තියෙනවා අපි ගාව. ඒ නිසා බොහොම සුන්දරව සිතුම් පැතුම් ඇතිව ජීවත් වෙන මිනිස්සු අපි.”

ඔබේ පාසල ජීවිතය ගැනත් කිව්වොත්? “ මම මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ තමයි අවසන් අධ්‍යාපන කටයුතු කළේ. ඊට කලින් ගමේ පාසලක් වෙන විද්‍යා රාජ විද්‍යාලයට ගියා. පල්ලිය ගොඩැල්ල බොදු විදුහලෙන් පස්සේ තමයි මම මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට ගියේ. පාසල් කාලයේදී තමයි ගීත ගායනයට ගොඩක් යොමු වුණේ. ඒ පල්ලිය ගොඩැල්ල විද්‍යාලයේදී. එතනින් එහාට මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේදී ගොඩක් තරඟවලට සහභාගී වුණා. තරඟ වලින් ජයගත්තා. අපි ඉස්කෝලෙට ගෞරවේ ගේනවා . ඉස්කෝලෙත් අපිට ගෞරවේ ගේනවා.”

ගෙදර ගායන පසුබිමක් තිබුණාද ? “තාත්තට නම් ගීත ගායනා කරන්න පොඩි හැකියාවක් තියෙනවා එච්චරම ලොකු දෙයක් නැති වුණත්. එයාට තිබුණේ නැති හැකියාව මට පිහිටන්න ඇති කියලා මම විශ්වාස කරනවා.” ඔබේ මුලින්ම ජනප්‍රිය වුණු ගීතය මොකක්ද කිව්වොත්. “ ඇත්තටම ගීත හතරක් තමයි මම මුලින්ම ඉදිරිපත් කරන්නේ සරල ගී වලට. ඒ ගීත හතර තමයි හිරු විකසිත වී , ලැබුණත් නෙත් , සසර පුරුද්දක් , මා පුතුණේ මගේ රන් සිහිනේ කියන ගීත. ඒවා තමයි 1985 සරල ගී වලට පාස් වෙන්නේ. එතනින් පස්සේ තමයි හිරු විකසිත වී කියන ගීත පටය නිර්මාණය වෙන්නේ.”

ඔබ කසාද බඳින්නේ මොන අවුරුද්දේද? “ මම අවුරුදු 22 දී කසාද බඳිනවා. විවාහ වෙලා දුවා ලැබුණට පස්සේ තමයි මම ජනප්‍රිය වුණේ.” ගෙදරට බරක් වෙන්න අකැමති හින්දද ලී කැටයම් පටන් ගත්තේ. “ඇත්තටම ඔව්. හම්බ කරන්න සිද්ධ වුණා. මොකද මම වේලාසනින් විවාහ වුණු එකත් බලපෑවා. ඒ නිසා ලී කැටයම් තමයි මම අවුරුදු ගානක් කලේ. ගායනයෙන් ජනප්‍රිය වුණාට පස්සේ ලී කැටයම් ටිකින් ටික අත් හැරියා. ලී කැටයම් අත් හැරපු එක අපරාදේ. නමුත් දැනටත් මගේ ගෙදර ලී වැඩ සේරම කරන්නේ මම. කවදා හරි සින්දු කියන්න බැරි වුණොත් ආදායම් මාර්ගය හදාගෙන තියෙනවා.”

දැන් මේ වෙනකොට කොහොමද ඔබේ ජීවිතේ ගෙවෙන්නේ. “ ඇත්තටම දැන් අවුරුදු දෙකහාමාරක් ඉඳන් මේ වෙනකන් අපිට ප්‍රසංග එහෙම රටේ පවත්වන්න බැහැනේ මේ තත්වය නිසා. ඉතින් එකෙන් අපි ගොඩක් හිර වුණා අපි වෘත්තීමය ගායකයන් නිසා. රස්සාව නැති වෙනවා කියන්නේ ලොකු බලපෑමක්. ලෝකේ හැමෝටම බලපාලා තියෙන වසංගතයක් නිසා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක දුරුවෙලා ඉක්මනටම අපේ රට නැවතත් යථා තත්වයට පත්වෙන්න කියලා තමයි ප්‍රාර්ථනාව.” කියලයි අවසාන වශයෙන් ඔහු කියා තිබුණේ.