Celebrity Gossip

ඇතැම් නිවේදක නිවේදිකාවන් නමට නිවේදකයෝ විතරයි.නිවේදනයේදී අපට කාගෙවත් කොපියක් වෙන්න බැහැ-අංජලී බුදවත්ත

අංජලී බුදවත්ත කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න දක්ෂ නිවේදන ශිල්පිනියක්. ලේ, මස්, ඇට, නහර තුළට නර්තනය කිඳා බැස තිබුණත් ඇය ගමන් කරන්නේ ඇයගේ ඉරණම ලියැවුණු  වෙනස්ම ක්ෂේත්‍රයකයි. බුදවත්ත නර්තන පවුලෙන් දක්ෂ නිවේදිකාවක් බිහිවන්නේ එලෙසයි. ඇය කොතෙක් අපූරුවට වචන හරඹය කරන්නේද කිවතොත් මිනිසුන්ගේ සිත් නිවන, හඬා වැටෙන සිත් හදන මනෝ උපදේශනයට ඇය මේ වනවිටත් යොමු වී හමාරයි. ඉතින් පහුගිය දවසක ඇය පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙලා මේ විදිහට කතාබහ කර තිබුණා.

ඇය නිවේදන කාර්යයට යොමු වුණ ආකාරය ගැන කියලා තිබුණේ මෙහෙමයි. “නිවේදන කාර්යයට යොමු වුණේ දැනට අවුරුදු 18කට කලින්. නිවේදිකාවක් වීමේ සිහිනය මට තිබුනෙ කුඩා කාලයේ පටන්මයි. මගේ එකම අධිෂ්ඨානය වුණේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්නයි. උසස් පෙළ ලියන්න කලින් ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමට සිරසට අයැදුම්පතක් යොමු කළත් මම එයින් සමත් වුණේ නැහැ. පසු කාලයේදී සිරස නාළිකාවේ වැඩසටහනක් මෙහෙයවීමට මට ආරාධනාවක් ලැබුණා. සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වී එයින් මම තේරීපත් වුණා. මගේ නිවේදන කාර්යයේ මහගෙදර වුණේ සිරසයි.”

ලංකාවේ නමගිය නර්තන පවුලක පුරුකක් වුණු ඇය නිවේදනය තෝරා ගැනීම පිළිබඳව කියලා තිබුණේ මෙහෙමයි. “එකිනෙකාට දෛවයේ ලියැවුණු ඉරණම් ගමනක් තිබෙනවා. මගේ ඉරණම ලියැවී තිබෙන්නේ නිවේදන කාර්යයටයි. මට හොඳ නර්තන හැකියාවක් තිබෙනවා. නමුත් සාමාන්‍ය පෙළින් පසු මගේ නර්තන ගමන මං නතර කරනවා. එයත් නර්තනයෙන් දිගුකාලීනව ඈත් වීමට හේතු වෙන්න ඇති. නර්තනය උපරිමයෙන් විඳගත්තා වගේම එහි ලැබිය යුතු අත්දැකීම් ලැබුවා. මට හොඳ ලේඛන හැකියාවක් තියෙනවා. ඒ වගේම නර්තන හැකියාවකුත් තියෙනවා. රංගන හැකියාවක් තියෙනවා. මේ හැමදේම යම් තරමින් මට පිහිටලා තියෙනවා. නර්තන ක්ෂේත්‍රයේ තෝර ගත්ත නම් එකී හැකියාවන් මං හඳුන ගන්නෙත් නැති වේවි. ඒ නිසා නිවේදන ක්ෂේත්‍රය තෝරා ගැනීම ගැන මට සතුටුයි.”

තමන්ගේ අනන්‍යතාව ගොඩනඟා ගන්න පහසුම නිදහස් ස්වාධීන නිවේදිකාවක් වීම තුළද? මාධ්‍ය ආයතනයකට යටත්ව සේවය කිරීම තුළද? කියන​ ප්‍රශ්නයට ඇය පිළිතුරු දීලා තිබුණේ මෙහෙමයි. “නිදහස් නිවේදිකාවක් වුණත් වෙනත් මාධ්‍ය නාළිකාවක පෙනී සිටීමට ලැබෙන අවසරය අඩුයි. සිරස මාධ්‍ය ආයතනයේ මං කටයුතු කළේ නිදහස් නිවේදිකාවක් ලෙසයි. නමුත් කිසිදු මාධ්‍ය ආයතනයක මං පෙනී සිටියේ නැහැ. ඕනෑම වෘත්තියක ආචාරධර්ම පවතිනවා. මං එකී රීති අකුරටම පිළිපැද්දා. ජාතික රූපවාහිනියේ කටයුතු කරන කාලේ සැටලයිට් නාළිකාවකවත්  මං පෙනී සිටියේ නැහැ. එකී නාළිකාවට අපි සංකේතයක්. ඒ නිසා නිදහස් නිවේදිකාවක් වුණත් මගේ ආචාරධර්ම තුළ එකී වෘත්තිය ගරුත්වය රකිමින් වෙනත් කිසිදු නාළිකාවක පෙනී සිටින්නට හැකියාවක් නැහැ. මගේ ගමන ගොඩක් හෙමින් ගමනක් වුණෙත් ඒ නිසයි.”

ඕනෑම ක්ෂේත්‍රයක ප්‍රවීණයකු සමඟ වැඩසටහන් මෙහෙයවීමේ හැකියාව නවකයන් බොහොමයක් තුළ නොමැතිවීමට හේතුව ඇය මෙලෙස සඳහන් කරලා තිබුණා. “එය බොහොමයක් ක්‍ෂේත්‍රයන්ට පොදු වූ කරුණක්. ඕනෑම ක්ෂේත්‍රයක එවැනි හිස්තැන් මං දකිනවා. නවකයන් දහයක් ගත්තොත් එයින් එක් අයකුගේ ඉදිරි දැක්මක් දකින්න පුළුවන්. ඇතැම් නිවේදක නිවේදිකාවන් නමට නිවේදකයෝ විතරයි. වෘත්තියට ආදරේ කරනවා නම් තමන් තමන්ව ගොඩනඟා ගත යුතුයි කියා මම හිතනවා. නිවේදනය තුළ අපට කාගෙවත් කොපියක් වෙන්න බැහැ.  එසේ අපටම ආවේණික වූ අනන්‍යතාවක් ගොඩනඟා ගත්විට දිගු ගමනක් යන්න පහසුයි. ඒ වගේම අපට අපගේම ලකුණක් ඒ ක්‍ෂේත්‍රයේ ඉතුරු කරන්න පුළුවන්.”

ඇයගේ පවුලේ විස්තර ගැන මේ විදිහට කතා කරලා තිබුණා. “මගේ සැමියා අරුණ ජයවර්ධන. ඔහු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් වගේම පිටපත් රචකයෙක්. මගේ දුව අශ්මිතා ජයවර්ධන. මේ දවස්වල කොරෝනා තත්ත්වය නිසා මගේ බලවත් ඉල්ලීමට අරුණ කලා කටයුතු තරමක් ප්‍රමාද කරලා ලිවීමේ කටයුතු නිවසේ සිට සිදු කරනවා. නිර්මාණකරුවෙක්ව හිර කරල තියාගන්න අමාරු නිසා සීතල යුද සමයකයි ඔහු මේ දවස්වල සිටින්නේ.”  කියලයි ඇය අවසන් වශයෙන් සඳහන් කරලා තිබුණේ.