Celebrity Gossip

ලෝකයේ උතුම්ම චරිතයට පණ දෙන්නට ලැබීම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා-කැලුම් ශ්‍රී

තරුණියන්ගේ ආදරය සහ ආකර්‍ෂණය වැඩි වශයෙන් දිනාගත් ජනප්‍රිය, නවක රංගන ශිල්පියෙක් තමයි කැලුම් ශ්‍රී කියන්නේ. රංගනයට මෙන්ම නර්තනයටත් ඔහු එක සේ දස්කම් පානවා. මේ දිනවල මෙගා ස්ටාර්වල ඩාන්සින් කරන අතර දිවිතුරා ටෙලිනාට්‍යයේ ෂූටින්වලටත් සම්බන්ධ වෙලා ටිකක් කාර්‍යබහුල වෙලා ඉන්න​ ඔහු පහුගිය දවසක සතිඅන්ත පුවත් පතක් සමඟ එකතු වෙලා මේ විදියට කතා බහ කරලා තිබුනා.

කැලුම් මුලින්ම කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වුණ ආකාරය ගැන ඔහු කියලා තිබුනේ මෙහෙමයි. “TV කමර්ෂල් හරහා තමයි මම මුලින්ම රංගන ක්ෂේත්‍රයට ආවේ. ඇත්තටම එයත් හරි අපූරු ආකාරයට තමයි සිදු වුණේ. එක දවසක් මගේ යාළුවෙක්ගේ ගීතයක මියුසික් වීඩියෝ එකක් කරන්න වයිඩ් ඈන්ගල් ප්‍රඩක්ෂන් හවුස් එකට ගියා. ඒ හරහා තමයි මම කමර්ෂල්වලට සම්බන්ධ වුණේ. එතැන තමයි මගේ මේ ගමනේ ආරම්භය. ඇත්තටම ටෙලි නාට්‍ය පැත්තට යොමු වෙන්න මගෙ එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් ඉතින් කාලයක් යද්දි ගෙදරින් ආපු ගැටලුත් එක්ක නිරායාසයෙන්ම වගේ ටෙලි නාට්‍යවලට යොමු වුණා”

නළු උණ ඇති වෙන්න විශේෂ කාරණාවක් හේතු වුණ බව ඔහු කියලා තිබුනා. “රිතික් රෝෂන් වගේ අය ඩාන්ස් කරනවා දැක්කම එයාලා වගේ ඩාන්ස් කරන්න, නළුවෙක් වෙන්න, ජනප්‍රිය වෙන්න තිබුණා නම් හොඳයි වගේ ආශාවක් මටත් ඇතිවුණා. හිතේ එහෙම ආශාවක් තිබුණත් ඒ කාලේ මම ගොඩක් සමාජශීලී චරිතයක් නෙවෙයි. කොහොම හරි අහම්බෙන් වගේ මගේ ඒ හීනෙට යන්න පුළුවන් වුණා.”

පළමුවෙන්ම පණ පෙවූ චරිතය සුවිශේෂී එකක් වීම ගැන ඔහු මෙලෙස අදහස් දක්වලා තිබුනා. “මම ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයට තමයි ප්‍රධාන චරිතයකට සම්බන්ධ වුණේ. එහි සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයට තමයි පණ පෙව්වේ. මුලින්ම ලෝකයේ උතුම්ම චරිතයට පණ දෙන්නට ලැබීම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා.”

කැලුම් නර්තනයට මෙතරම් දක්‍ෂ කෙනෙක් වුණ හැටි මෙහෙම කියල තිබුනා. “මම කුඩා කාලයේදීම මාර්ෂල් ආට්ස් කළා. ඒකත් එක්ක මට බල්ටි ගහන්න. අමාරු ජම්ප් වගේ දේවල් හොඳින්ම කරන්න හැකිවුණා. ඒ නිසා මම පාසලේදී නර්තනය විෂයක් විධියට තෝරා ගත්තා. එතැනින් කැන්ඩියන් ස්ටයිල් එක පුරුදු පුහුණු වුණා. ඒ වගේම රිතික් රෝෂන්ගේ, මයිකල් ජැක්සන් වගේ අයගේ නර්තනයන් අධ්‍යයනය කරමින් ගෙදරදී තනියම පුහුණුවීම් කළා. එහෙම තමයි නර්තන හැකියාව ප්‍රගුණ කළේ.”

රංගනය තුළින් ඉදිරියට යන ගමනේදී සාර්ථක රංගන ශිල්පියකු වීමට නම් රංගනය හැදෑරීම අත්‍යවශ්‍යය බව ඔහු මෙහිදී කියලා තිබුනා. “රංගනය කියන්නේ මැරෙන තුරුම හදාරන්න ඕන දෙයක්. අලුත් ෆිල්ම් බලමින්, ප්‍රවීණයන් රඟපාන ආකාරය අධ්‍යයනය කරමින් ඒ දේවල් මම විසින්ම අත්හදා බලනවා. ඉතින් එහෙම ඉගෙන ගනිමින් තමයි මම මේ ගමන යන්නේ. ඒත් සමඟ පොතපතින් සහ ඉන් පරිබාහිරව රංගනය කියන දේ පිළිබඳව අධ්‍යාපනය ලබා ගැනීමත් ඉතාම වටිනවා.”

මේ ආපු ගමනේ ඔහුට උපකාර කළ සියලු දෙනාවම මතක් කරන්නත් ඔහු අමතක කරලා තිබුනේ නැහැ. ” මාව මුලින්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දුන් හිරු නාළිකාවට, හිරු කාර්ය මණ්ඩලයටමත්, මම වැඩ කරපු සියලුම නිර්මාණවල අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු සියලුම දෙනාටත්, නම් වශයෙන් නොකීවත් මේ ගමනේදී මට උදවු උපකාර කරපු සියලුම දෙනාට ගොඩක් ස්තූතියි.” කියලයි ඔහු අවසාන වශයෙන් කියලා තිබුනේ.