Celebrity Gossip

කාලයක් තිස්සේ වුන​ සිද්ධි නිසා තැළිල තැළිල දැන් මට කවුරු මොනවා කිව්වත් දැනෙන්නේ නැහැ– දිනේෂ් තරංග

කාලයකදී බැබළෙන තරු ටික කාලයකින් අතුරුදන් වෙන එක​ කලා ලෝකයට​ නුපුරුදු අත්දැකීමක් නොවෙයි. නමුත් එකී කුලකයෙන් දිනේෂ් තරංග පිට පනින්නේ මී විත පිරුණා මැදියම් රෑ යැයි ඔහු ගැයූ පළමු ගීතය තවමත් අපේ කන්වල දෝංකාර​ දෙන නිසයි. මෑතකදී ඔහු නැවත කරළියට පිවිසෙන්නේ, සමාජ මාධ්‍ය තුළින් ඔහුට නොකඩවා එල්ල කරන මඩ ප්‍රහාර නිසයි. අපහාස මඩ ප්‍රහාර ඉදිරියේ බොහෝ දෙනා හඬා වැටෙන විට වගේම කඩා වැටෙන විට ඔහු තම ආදරණීයයන්ගේ අත් අල්ලාගෙන හීයක් මෙන් නැඟී සිටීම කතා නොකරම බැහැ. ඉතින් මේ ගැන කතා කරන්න සති අන්ත පුවත්පතක් ඔහු සමඟ පිළිසඳරක යෙදිලා තිබුනා. 

සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව වැඩි වැඩියෙන් කතා බහට ලක් වුණ එක ගැන ඔහු මෙහෙම කියලා තිබුනා. “මං සාමාන්‍යයෙන් කෙළින් කතා කරන කෙනෙක්. ඒ නිසා දිනේෂ් තරංග කියන මගේ පේජ් එකෙන් ජීවිතේ සිදුවීම් සැඟවීමකින් තොරව මං පළ කරනවා.  අපේ පෞද්ගලික දේවල් ඇත්ත ඇති සැටියෙන් කිව්වම මිනිස්සුන්ට කතන්දර ගොඩනඟන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. නැත්නම් මිනිස්සු කියන කතාවලට අපේ හිත් රිදවගෙන මානසිකව ඇද වැටෙනවා. කාලයක් තිස්සේ මං ඒ සිද්ධි නිසා තැළිල තැළිල දැන් මට කවුරු මොන දේවල් කිව්වත් දැනෙන්නෙ නැති තත්ත්වෙටම පත්වෙලා.”

ඔහුගේ ගීතයක් පිට වුණාම අළු යට තියෙන ගින්දර වගේ ඔහුගේ පෞද්ගලික ජීවිතේ කරුණු යළි යළිත් කතාබහට ලක්වීම පිළිබඳ ඔහු මෙසේ කියා තිබුනා. “මං ජනප්‍රිය කෙනෙක් නොවුණ නම් අපේ ගමේ කට්ටිය විතරක් මං ගැන කතාබහට ලක්වෙලා නතර වෙනවා. නමුත් මගේ ජනප්‍රියත්වය නිසා වගේම බොහෝ විට සමාජය තුළින් විවේචන කරන්නම හේතුවක් හොයන නිසා මම වැඩි වැඩියෙන් කතා බහට ලක් වෙනවා. මං විවාහ වී වසර 11ක් ගත වුණත් තාමත් මට යම් යම් විවේචන එල්ල වෙනවා. මඩ ප්‍රහාර එල්ල කරනවා. මට මගේ බිරිය මුණගැහෙන්නෙ 2009දී. ඊටත් බොහොමයක් කාලෙකට පෙර සිට මම ඇයව හදුනනවා. ඇය මං ගීත ගායනා කරන නිසාවත්, මං ජනප්‍රිය නිසාවත් මාව කසාද බැඳපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා මං කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මගේ පෞද්ගලික ජීවිතයේ විස්තර විවෘතව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනවා. එතකොට මිනිස්සුන්ට කුතුහලයෙන් මං ගැන හිත හිත කතා හදන්න අවශ්‍ය නැහැ. සඟවන්න මුකුත් නැති නිසා මගේ හිතටත් කරදරයක් නැහැ.”

මිනිස්සු ඔහුගේ ජීවිතයට කියා දුන් හොඳම පාඩම ගැන මෙහෙම කියලා තිබුනා. “මිනිස්සු මට කියා දුන්න හොඳම පාඩම මට හිඟන්නා කියපු එක. හිඟන්නා කියල ආමන්ත්‍රණය කළ කෙනාට මං හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මං හැල්මේ දුවන්න පටන් ගත්තේ ඊට පස්සෙයි. උකුස්සෙක්ට කපුටෙක් කෙටුවට  උකුස්සගෙ ගමන නවතින්නේ නැහැ. ඌ තවත් ඉහළටම පියාඹනවා. ඉහළටම ඉගිළෙන උකුස්සා ළඟට ඉන්පස්සෙ කපුටට ළංවෙන්නවත් බැහැ. කපුටො ඉන්න සමාජයක මං උකුස්සෙක් වෙන්නයි  හැම තිස්සෙම උත්සාහ කරන්නේ.”

රෝස මල් 2ක් වගේ ලස්සන දුවලා දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට ඒ වගකීම ඔහුගේ හිතට දැනෙන්නෙ ආකාරය ගැනත් කියලා තිබුනා. “මට ඉන්නෙ දුවලා දෙන්නෙක්. ඒ නිසා එයාලව මගේ ඇස් දෙක වගේ පරිස්සම් කරනවා. සමාජයේ සිද්ධවෙන දේවල්, ඇහෙන දකින දේවල් එක්ක මගේ හිතට දැනෙන්නෙ ලොකු බයක්. මෙච්චර කාලෙකට මංවත් මගේ බිරියවත් දරුවො ගැන වැරදි වචනයක් අහල නැහැ. ඒ නිසා මගේ ඇස් මායිමේ තියාගෙන දරුවො දෙන්නව රැකීමයි මගේ එකම වගකීම.”

වෘත්තිමය ජීවිතය තුළ ඔහු තෘප්තිමත්ද යන ප්‍රශ්නයට ඔහු මෙලෙස පිළිතුරු දීලා තිබුනා. “වෘත්තිමය ජීවිතය පිළිබඳව මං ගොඩක් තෘප්තිමත්. මගේ පළමු ගීතයට මී විත පිරුණා මැදියම් රෑ, තවමත් මිනිසුන් ප්‍රිය කරනවා. වසර දහයක් ගත වුණත් මිනිසුන්ගේ මතකයේ ඒ ගීතය පැවැතීම මගේ ජීවිතයේ මං  ලැබූ ලොකු ජයග්‍රහණයක්.” කියලයි ඔහු අවසාන වශයෙන් කියලා තිබුනේ.