Celebrity Gossip

කලාව මෙහෙයවන්නේ නියම සුදුස්සො නෙමෙයි දේශපාලන පක්ෂවලට කඩේ ගිය කලාකරයෝ–කමල් අද්දරආරච්චි

කමල් අද්දරආරච්චි කියන්නේ කලා ක්‍ෂේත්‍රයේ ඉන්න දක්‍ෂ, ප්‍රතිභාපූර්ණ රංගධරයෙක්. ඉතින් පහුගිය දවසක සතිඅන්ත පුවත්පතක් ඔහුව හමුවෙලා සුපුරුදු විධියට ආදරය ගැනම කතා කරන්නේ නැතිව කලාව සම්බන්ධයෙන් කතා කරලා තිබුනා. කොවිඩ් වසංගතය නිසා රටේ කලාව කඩා වැටෙනකොට සිය අංශ අඩපණ වෙනකොට තිරය පිටුපස කතා රැසක් හෙළිදරව් කරගන්න මෙහිදී හැකිවෙලා තිබුනා. සංවාදය අතරතුර කලාව ගැන මෙන්ම දේශපාලනය සම්බන්ධවත් ඔහු විවේචන, අදහස්, යෝජනා ඔහුට හුරුපුරුදු ආකෘතියෙන් ඉදිරිපත් කරලා තිබුනා. මේ ඒ කතා බහයි.

මේ දිනවල ඔහුගේ වෘත්තීමය වැඩ කටයුතු ගැන මුලින්ම කතා කරලා තිබුනා. “කවුරු කොහොම මොනවා කිව්වත් මේ වයිරස් එකට බයේ හැංගිලා, කොටුවෙලා, වැඩ නොකර ඉන්නවා කියන එක මම අනුමත කරන්නේ නෑ. අපි ආරක්ෂා වෙන්න ඕනේ තමයි. ඒකට සෞඛ්‍ය අංශවලින් දීලා තියෙන උපදෙස් පිළිපදින එක සහ ප්‍රතිශක්තිය වැඩෙන විදිහේ ආහාර රටාවකට අනුගත වෙන එක ප්‍රමාණවත්. මම කොවිඩ් තිබුණත් නැතත් අවුරුදු කිහිපයකින්ම නිර්මාණයකට සම්බන්ධ වෙලා නෑ. නමුත් එහෙමයි කියලා මම මගේ වැඩකටයුතු මේ කාලසීමාව තුළ නවත්තලත් නෑ. රංගනයෙන් ඈත් වුණත් මම මගේ ව්‍යාපාර කටයුතුවලට මේ වෙලාවේ අවධානය දෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය පැත්තටත් මේ වෙලාවේ මගේ දායකත්වය සපයමින් ඉන්නවා. කොවිඩ් කියලා හිර වෙලා ඉන්නෙ නැතිව යමක් කරන එක ගැන මට සතුටුයි. ගොඩක් අය මාත් එක්ක එකඟ වෙන එකක් නැහැ.”

මාධ්‍ය මඟින් බොහෝවිට සෘණාත්මක දේ පමණක් සමාජගත කිරීම නිසා මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට එය බලපාන ආකාරය ගැන ඔහු මෙහිදී කතා කරලා තිබුනා. “එහෙම කරන්නේ නැතිව පැවැත්මක් තියෙයි කියලා හිතනවද? ටෙලිවිෂන් එක දැම්මොත් උදේ ඉඳල හවස් වෙනකන් යන්නේ නෙගෙටිව් දේවල්. මෙහෙම මංකොල්ලයක් සිද්ධ වුණා. මෙහෙම මිනී මැරුමක් කළා. මෙච්චර ප්‍රමාණයක් වංචා කළා. සමහරවිට ඕවා නොකිව්වොත් දැන් ඉන්න මිනිස්සු ටෙලි නාට්‍ය බලන එකකුත් නෑ. මිනිසුන්ටත් ඕනේ ඔය දේවල් බලලා විවේචන කර කර ඉන්න මිසක් ධනාත්මක දේවල්වලට යොමු වෙන්න නෙවෙයි. පත්තරයක් ගත්තත් ගුවන්විදුලියක් ගත්තත් එහෙමයි. නෙගෙටිව් දේවල් කතා කළොත් නෙගෙටිව් දේවල් ලිව්වොත් තමයි වැඩිපුර මිනිස්සු අහන්න, දකින්න, බලන්න පෙලඹෙන්නේ. ඒකත් එක්ක මාධ්‍යකරුවන් කොහොමත් පොසිටිව් දේවල් ජනගත කරන්නේ නෑ. මනසට ආහාරයක් වෙන දෙයක් දෙන්න මේ රටේ මාධ්‍යකරුවන් උත්සාහ කරන්නේ නෑ. කැරකිල කැරකිල අපි ආයෙත් එන්නේ අර පාලන තන්ත්‍රය අවුල් කියන්න කියන ප්‍රශ්නයටමයි.”

කලාකරුවෙක් තමන්ගේ ප්‍රතිරූපය නඩත්තු කිරීම සහ හැඟීම්වලට ඉඩදීම ගැන ඔහු කියලා තිබුනේ මෙහෙමයි. මම නම් හිතන්නේ ප්‍රතිරූපය කියන එකට වඩා බලපෑම් සහගත කාරණා වෙන්නේ ආසා, තමන්ගේ සදාචාරාත්මක සිතිවිලි කියන ඒවා. අපි ජනප්‍රිය වෙද්දි ඒ ජනප්‍රියතාවට, සමහරවිට පෙනුමට, නැත්නම් වෙනත් මොනවහරි දේට අනික් මිනිස්සු ආකර්ෂණය වෙනවා. ඒක සාමාන්‍යයි. මගේ පැත්තෙන් ගත්තොත් මම කවදාවත් මිනිසුන්ගේ රාගය, කේන්තිය ඇවිස්සෙන විදිහට රඟපෑම් කරලා නෑ කියලා මට බය නැතිව කියන්න පුළුවන්. මටත් ඉතින් එක එක  ආරාධනා ලැබිලා තියෙනවා. තරුණ කාලේදී විතරක් නෙමෙයි හැම කාලේදීම. මම එහෙම අවස්ථාවල හිතන පළමුවැනිම දේ තමයි තාවකාලික සබඳතාවක් වෙනුවෙන්, තෘප්තියක් වෙනුවෙන් මම ජීවිත කාලෙම ගොඩනඟා ගත්තු දේවල් නැතිකරගන්න ඕනද කියන එක. මම කියන්නේ එහෙම අවස්ථා ලැබුණොත් සලකා බලන්න ඕන කාරණා දෙකයි තියෙන්නේ. එකක් මට මේ සම්බන්ධයෙන් හානියක් තියනවද, මාව අනවශ්‍ය විදිහට පරිහරණය වෙනවද කියන එක. අනිත් එක අනික් පාර්ශ්වයට මේ සම්බන්ධයෙන් හානියක් වෙනවද, ඒ පාර්ශ්වය අනවශ්‍ය විදිහට පරිහරණය වෙනවද කියන එක.”

කලාවට දේශපාලනය මැදිහත්වීම සම්බන්ධයෙන් ඔහු කියලා තිබුනේ මෙහෙමයි. “කලාවට දේශපාලනය මැදිහත්වෙන්න හරි විදිහට නම් මම ඒකට විරුද්ධ වෙන්නේ නෑ. නමුත් එතැන හරි විදිහට මැදිහත් වීමක් නෑ. මම හිතන්නේ මේ රටේ හැම වෙලාවෙම මිනිසුන්ගෙන් ප්‍රයෝජන ගන්නේ හරි අඩක් විතරයි. කිසියම් ආණ්ඩුවක් පත් වුණාම මුලින්ම කරන්නේ හිටි අය දක්ෂයිද නැද්ද කියලවත් බලන්නේ නැතිව ඒ අය අයින් කරලා ඒ ඒ අමාත්‍යාංශවලට, ඒ ඒ අංශවලට තමන්ගේ අය ඔබන එක. තමන්ගේ දේශපාලන පක්ෂය වෙනුවෙන් කඩේ ගිය අය තමයි දක්ෂ වුණත් නැති වුණත් අදාළ ආණ්ඩුව විසින් පාවිච්චි කරන්නේ. එතකොට මේ රටේ දක්ෂයාට තැනක් නැති වෙලා තියෙනවා. කලාව මෙහෙයවන්නේ නියම සුදුස්සො නෙමෙයි දේශපාලන පක්ෂවලට කඩේ ගිය කලාකරයෝ. රටේ කලාව කියන එක බිඳවැටෙන්නත් ලොකුම හේතුව ඒක”

මේ මොහොතේ තම ආදායම ගැන මැසිවිලි නඟන රංගන ශිල්පීන් ගැන ඔහුගේ අදහස වුනේ මෙයයි. “නළු නිළියො කියයි ඔවුන්ට අමාරුයි. ආදායම වැටිලා වගේ නොයෙක් කතා. හැබැයි මම කියන්නේ ඔවුන්ට මේ වෙලාවේ ජීවත්වෙන්න මොනවම හරි දෙයක් තියෙනවා. ක්ෂේත්‍රයේ ඉඳලා, කාලයක් තිස්සේ රඟපාලා හම්බ කරගත්ත පොඩිම හරි දෙයක් තියෙනවා. හැබැයි එහෙමවත් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? එදා වේල කන්න බැරි රැකියාවක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? රඟපාන්න ටෙලි නාට්‍යයක්, නිර්මාණයක් හම්බවුණේ නැහැ කියලා ඒක විවේචනය කර කර ඉඳලා හරියන්නේ නෑ. වෙනත් මාර්ගයක් විවෘත කර ගන්න ඕන. හොඳම උදාහරණය මම. මම මේ වෙලාවේ රඟපෑවේ නැති වුණාට කෘෂිකර්මාන්තයට මගේ දායකත්වය දෙනවා. බිස්නස් වැඩ බලනවා. මේ වෙලාවේ රටේ පිළිගත්ත පිරිසක් විදිහට අපිට සාධාරණයක් ඉටු වෙන්නේ නෑ කියලා කවුරුහරි කලාකරුවෙක් චෝදනා ඉදිරිපත් කරනව නම් ඒකත් එක්ක මම එකඟ වෙන්නේ නෑ. අප රටේ හැම මිනිහටම අමාරුයි. කලාකරුවා කියලා විශේෂ වරප්‍රසාද හිමිවෙන්න ඕනේ නැහැ. ඒ වගේ උද්ධච්ච කලාකාරයෝ මේ රටට වැඩක් නැහැ. පවතින තත්ත්වය තේරුම් අරන් ඒකට අනුගත වෙන්න ඕනේ.” කියලයි ඔහු අවසාන වශයෙන් සඳහන් කර තිබුණේ.”