latest articles

ලෝකයේ උසම ගොඩනැගිල්ලේ මුදුනටම නැග්ග යුවතිය​

Covid 19 වසංගතය හමුවේ අභියෝග රැසකට මුහුණ දුන්නේ ගුවන් යානා සමාගම්ය. අංක එකේ ගුවන් සේවයක් ලෙස කීර්තිනාමයක් දිනා ගත් එමිරේට්ස් ගුවන් සේවයේද ගැටලු රැසකට මුහුණ දුන්නේය. මේ වන විට එන්නත්කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වී සංචරණ සීමා ලිහිල් වෙද්දි මහා බිතාන්‍යද ගුවන් මගීන්ට පනවා තිබූ තහංචි අවම කළ ගුවන් සේවය තමන් ලොව අංක එකේ ගුවන් සේවයක් බව හිතන්න බ්‍රිතාන්‍ය වැසියන්ට පමණක් නොව ලොව සියලු දෙනාටම ඒත්තු ගන්වමින් එමිරේට්ස් හරි අපූරු රූපවාහිනී වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කරලා තිබුණා. එම දැන්වීම පමණක් නොව ඒ පසුපස ඇති අපූරු කතාවද මේ වන විට සමාජ මාධ්‍ය, යූටියුබ් නාලිකා, ලොව ප්‍රධාන පෙළේ පුවත් වෙබ් අඩවි ඔස්සේ ජනප්‍රිය වී තිබෙනවා.

වෙළෙඳ දැන්වීම ආරම්භ වන්නේ එමිරේට්ස් ගුවන් සේවිකාවක බොහොම සැහැල්ලුවෙන් සිනාමුසු මුහුණකින් ඇය අතැති පුවරු ප්‍රදර්ශනය කිරීමය. ‘එමිරේට්ස් ගුවන් සේවය තෝරාගන්න. එමිරේට්ස් සමග එක්වී පියාසර කරන්න. ලෝකයේ ඉහළින්ම ඉන්නවා යැයි ඔබට දැනේවි’ ආදී වශයෙන් එම පුවරු වල ලොකු ඉංග්‍රීසි අකුරු වලින් ලියා  තිබුණා. ගුවන් සේවිකාව පුවරු පෙන්වා අවසන් වෙද්දී කැමරාව සෙමෙන් පසුපසට යන්නේ දැන්වීම නරඹන්නට ඇය එසේ සිටින්නේ කොහේදැයි පෙන්වමි. එම දසුන ඩ්‍රෝන කැමරා තාක්ෂණයෙන් රූගත කරන ලද්දකි.

කැමරාව සෙමෙන් පසුපසට යද්දි ගුවන් සේවිකාව සිටින්නේ එසේ මෙසේ තැනක නොවන බව පෙනේ. ඇය සිටින්නේ ලෝකයේ ඉහළම ස්ථානයට ඉහළින් යයි කීවොත් එය නිවැරදිය. ඇය සිටින්නේ ලෝකයේ විශාලතම ගොඩනැගිල්ල වන ඩුබායි බර්ජ් ඛලීෆා කුළුණ මුදුනේය. මෙය ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල වන්නේ එය අඩි 2722 ක් උසින් යුක්ත වීම නිසයි.පරිගණක ප්‍රයෝග යොදාගෙන නිර්මාණය කළ වෙළඳ දැන්වීමක් යැයි මුලදී බොහෝ දෙනා අදහස් පල කලත් එය එසේ නොවන බවත් එම යුවතිය සැබැවින්ම සිටින්නේ බර්ජ් කලීෆා ගොඩනැගිල්ල මුදුනේ බවත් එම සමාගම පැවසීය. ඒ අනුව දැන්වීම ගැන පමණක් නොව බය නැතිව කලිෆා කුලුන මුදුනට ගිය යුවතිය කවුරුන්ද යන්න කසුකුසුවක් නිර්මාණය වෙලා තිබුණා.

මෙම වෙළෙඳ දැන්වීමට සම්බන්ධ වූ යුවතිය එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක ලෙස එම ගුවන් සේවය නිල ඇඳුමින් සැරසී සිටියත් ඇය ගුවන් සේවිකාවක නොවේ. ඇය 37 හැවිරිදි නිකෝල් ස්මිත් ලුඩ්වික් නම් ගුවන් කරණම් පුහුණුකාරියකි. ඒ නිසා ඇයට උස ප්‍රශ්නයක් නොවෙයි. ඇය බියක් දක්වන්නේද නැත. නිකෝල් ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ යුවතියකි. ඇය හොලිවුඩ් සිනමාවට සම්බන්ධ ක්‍රියාදාම නිරූපණ ශිල්පිනියක ලෙසද කටයුතු කරයි.

ඇය බර්ජ් ඛලීෆා කුළුණ මුදුනේ වේදිකාව මත සිටගෙන සිදු කළ අපූරු වෙළඳ දැන්වීම ඇයට අභියෝගයක් වී තිබුනා. ඇය සහ කණ්ඩායම පෙර පුහුණු වීම් රැසක් පැවැත්විය. කුළුණ මුදුනට ගිය පසු විශේෂ ආරක්ෂක රැහැන් කිහිපයකට ඇය සම්බන්ධ කෙරුණා. දැඩි සුළං තත්ත්වයක් පැවතියත් එයට බාධාවක් නොවන ලෙසින් ඇය ගුවන් සේවිකා ඇඳුම ඇඳ සිටින්නේ ආරක්ෂක රැහැන් නොපෙනෙන ලෙසිනි. මේ සියල්ල වෙළඳ දැන්වීම් හැදුණු හැටි පෙන්වන වීඩියෝ හරහා දකින්න ලැබේ. 

නිකෝල් ස්මිත්ගේ කතාව සැමට වඩා අපූරු එකකි. ජීවිතය ජයගන්න හැටි ඇය අපට කියාදෙයි. නිකෝල් පළමු වරට විවාහ වූයේ ඇගේ පාසල් පෙම්වතා සමග වයස අවුරුදු විස්සේදී. ජීවිතේට අවාසනාව උදා වූයේ ඇයට අවුරුදු විසිපහක් වෙද්දී සැමියා අකාලයේ මිය යාමත් සමග. ඇය දුක අමතක කරමින් ජීවිතේ විඳින්නට පසුව තීරණය කළා. ඇය ගුවන් කරණම් ශිල්පිනියක ලෙස පුහුණුව ලැබුවා. ඉන්පසු ඇය ගුවන් කරණම් පුහුණු කාරියක වෙලා හොලිවුඩ් සිනමා නිර්මාණ රැසක ප්‍රසිද්ධ නිළියන් වෙනුවෙන් ගුවන් කරනම්  පෙන්වමින් ජීවිතය ගත කරනවා.

නිකෝල්ට මෝටර් රථ අනතුරක් සිදුවීම නිසා බරපතළ ලෙස තුවාල ලබා ඇගේ උකුල් අස්ථිය, කශේරුකා,ව ඉල ඇට බිඳී ගිහිල්ලා මොලේටත් තුවාල වෙලා තියෙනවා. වෛද්‍යවරුන්ගේ උත්සාහය නිසා ඇගේ බිඳුනු සිරුර සම්බන්ධ කිරීමට වෛද්‍යවරුන්ට හැකි වෙලා තියෙනවා.  නිකෝල් උත්සාහය අතහැරියේ නැත. ඇය මිය යෑම ප්‍රතික්ෂේප කරලා කායික සහ මානසික වශයෙන් ඇයට ප්‍රතිකාර ලබා ගත්තා.  කෙසේ හෝ ඇය වේදනාව ඉවසාගෙන යළි දෙපයින් නැඟිට්ටා. ඇගේ මුළු සිරුරම රිදුම් දුන්නත් ඇය උත්සාහය අතහැරියේ නැහැ.නිකෝල් මේ දේවල් පවසලා තිබුණේ වෙළඳ දැන්වීමෙන් පසු ජනප්‍රියවීමත් සමඟ gulf times පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.