Celebrity Gossip

එක ගීතයකට Covers සීයක් කළත් මුල් ගීතයේ රසය,ඒ ලස්සන කවදාවත් කවර්ස්වලින් එන්නේ නෑ-උරේෂා රවිහාරි

උරේෂා රවිහාරි කියලා කියන්නේ සංගීත ලෝකයේ ඉන්න මිහිරි හඬින් දෙසවන් මුසපත් කරන ලස්සන කට හඬක් තියෙන ගීත කෝකිලාවියක්.කොවිඩ් තත්ත්වයත් එක්ක වැඩ කටයුතු ඔක්කොම නැවතිලා මේ දවස්වල ඉතින් ගෙදරට වෙලා ඉන්න ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන ඇය මේ දිනවල මොනවද කරන්නෙ කියලා සති අන්ත පුවත්පතක් සමඟ මේ විදියට කතා කරලා තිබුනා. 

ජනතාව ඉන්න තත්ත්වයත් එක්ක ඔවුන්ගේ මානසික සුවය සඳහා අලුත් නිර්මාණ ලබාදිය යුතුද යන්න පිළිබඳව ඇය මෙලෙස අදහස් දක්වලා තිබුනා. “සාමාන්‍යයෙන් ගීතයක් රසවිඳින්න නම් මනස සුවපත් වෙලා තියෙන්න ඕනෙ. මේ වෙලාවේ ශ්‍රී  ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක ගීතයක් අහලා රසවිඳින්න පුළුවන් මානසිකත්වයක් ජනතාවට නැහැ. ඒ නිසා ගීතයක් කළාම ඒක දැනෙන ප්‍රමාණය අඩුයි. මනස සුවපත් වෙන්න අලුත් නිර්මාණ ලබාදෙන එක හොඳයි. නමුත් මම හිතන්නේ ගීතයක් අහලා රසවිඳිය හැකි මට්ටමක දැන් ප්‍රේක්ෂකයො නැහැ. ගීත ජනප්‍රිය වෙයි. නමුත් මට ඕනෙ ප්‍රේක්ෂකයන් ගීත අහලා රසවිඳිනවා දකින්න.”

රැල්ලක් විධියට Cover Songs නිර්මාණය වෙන කාලෙක Covers කරන එක ගැන ඇගේ අදහස වුනේ මේකයි. “ගොඩක් වෙලාවට ලෝකෙ ගොඩක් රටවල ඔරිජිනල් ගීතයට Covers නිර්මාණය වෙනවා. නමුත් ශ්‍රී  ලංකාවේ කලාකරුවන්ගේ ආර්ථික මට්ටම් අනෙක් රටවල කලාකරුවන්ගේ ආර්ථික මට්ටමට සාපේක්ෂව වෙනස්. ඒකත් එක්ක Covers කරන එක එච්චර සුදුසු නැහැ. නමුත් Covers කරන එක වැරැදි නැහැ. එක ගීතයකට Covers සීයක් කළත් මුල් ගීතයේ රසය, ඒ ලස්සන කවදාවත් කවර්ස්වලින් එන්නේ නෑ. කවර්ස්වල තියෙන්නේ වෙනම රසයක්.”

Covers කරන එක බොහෝ දෙනා විවේචනය කිරීම ගැන ඇය මෙහෙම කියලා තිබුනා. “සමහරු ඉන්නවා කලින් Covers කරපු අයත් අලුතින් Covers කරලා දැන් ක්‍ෂේත්‍රයට එන අයව විවේචනය කරන. එහෙනම් ඒ අයත් කවර්ස් නොකර ඉන්න ඕනේ. ක්‍ෂේත්‍රයට පය තිබ්බ පමණින් අනෙක් අයව විවේචනය කරන්න අපිට බැහැ. අපි දැන් ක්‍ෂේත්‍රයේ යම් දුරක් ඇවිල්ලා ඉන්නේ. අපි අපේ ප්‍රවීණයන්ට දෙවියන්ට වගේ සලකනවා. ඕනම කලාකරුවෙක් නිරහංකාර වෙන තරමට වටිනාකම වැඩියි. තවකෙනෙක් විවේචනය කරන එකට මම හරිම විරුද්ධයි. හැමෝටම රියැලිටිවලින් එන්න බැහැනේ. එහෙම අවස්ථාවක් නැති අයට Covers කරලා තමන්ගේ හැකියාව පෙන්නලා ගමනක් යන්න පුළුවන්.”

ඇගේ ගීතවලට කරන Covers ගැන ඇය දක්වන්නේ මේ වගේ ප්‍රතිචාරයක්. “මගේ ගීතවලට ඕනෑ තරම් Covers හැදිලා තියෙනවා. සමහරු මට Covers කරලා එවනවා. මට ඒවා අහද්දී සතුටුයි. ඒවයේ තියෙන්නේ වෙනස් රසයක්. මම ඒවා අහලා පෞද්ගලිකවම එයාලට ප්‍රතිචාර දක්වනවා. එහෙම අගය කිරීමක් කළේ නැත්නම් ඔවුන්ට ඉදිරියට එන්න බැහැ.”ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විදියට නව පරපුර ගැන ඇය හිතෙන්නේ මෙහෙමයි. “හොඳ අලුත් ගායක පරපුරක් ඉන්නවා. රියැලිටි තරග හරහා කට්ටියක් එනවා. Covers හරහා කට්ටියක් එනවා.

එයාලා දක්ෂයි. යොහානි ගත්තොත් එයා දැන් නෙමේ. මීට කලින් ක්‍ෂේත්‍රයට ආපු ගායිකාවක්. එයාගේ නිර්මාණවලට ඇතැම් ජනප්‍රිය අය පවා දොස් කියනවා. මම නම් මැද තැනක ඉඳලා ඒවා රස වින්දා. යොහානි ජනප්‍රිය වුණේ වෙනස් ශෛලියකින්. එයා ගායනා කරන විලාසය වෙනස්. රැප් කරන්නත් පුළුවන්. දැන් වෙනම ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන යනවා. අපිට දක්ෂ තරුණ ගායික ගායිකාවන් ඉන්නවා. මීනා දුමාල්, සංඛ, තීක්ෂණ, ෂෙහාන්, ෆැලන් මේ අය ගොඩක් දක්ෂයි. තරගවලට අමතරව ක්‍ෂේත්‍රයට ආපු ඇතැම් අයත් ඉන්නවා තමන්ටම අනන්‍ය වෙච්ච හොඳ හඬවල් තියෙන.” කියලයි ඇය අවසාන වශයෙන් කියලා තිබුණේ.