Celebrity Gossip

ජීවිතයේ පළමු වතාවට මෙගා ටෙලිනාට්‍යක රඟපාන්න බාරගත්තා.එක මේ දිනවල විකාශය වෙනවා-මහේන්ද්‍ර පෙරේරා

අතීතයේ දිනක ගාමිණී ෆොන්සේකා ශුරීන් මහේන්ද්‍ර පෙරේරා ගැන අනාවැකියක් කියා තිබුණා. ‘අනාගතයේ ශ්‍රී ලාංකීය රංග භුමියේ හොඳ වැඩ පෙන්වන්නෙකු වන බව’ ඒ අනාවැකියයි. මහේන්ද්‍ර පෙරේරා නමැති ඒ රංග ශිල්පියාහට ඒ බව ඕනවටත් වඩා ඔප්පු කර පෙන්වීමට පසු කලෙක හැකිව තිබෙනවා. මහේන්ද්‍ර යනු රංගනයේදී ඕනෑම චරිතයකට ඔට්ටු රංග ශිල්පියෙකි. ඉතින් තව තවත් අතිශයෝක්තියකින් ඔහු ගැන කතා කල යුතුවන්නේ නැහැ. මේ දිනවල ඔහු ගැන බොහෝ දෙනා කතා කිරීමට හේතු කිහිපයක්ම තිබෙනවා. ඉතින් ඒ පිලිබඳ විස්තර ඔහු පුවත්පතකට එක්වෙමින් කියා තිබුණේ මේ විදියටයි.

මහේන්ද්‍ර පෙරේරා මේ දිනවල වැඩකටයුතු ගැන කියා තිබුනේ මේ ආකාරයටයි. “ ටෙලිනාට්‍ය රංගනය පැත්තෙන් ගත්තොත් ජීවිතයේ පළමු වතාවට මෙගා ටෙලිනාට්‍යක රඟපාන්න බාරගත්තා. එක මේ දිනවල හිරු ටී.වී එකේ විකාශය වෙනවා. එකේ නම රැල්ල වෙරළට ආදරෙයි. පසුගිය දිනවල ඒ වැඩ එක්ක හිටියෙ. ඒ හැර රඟපෑ ටෙලිනාට්‍ය කීපයක් විකාශය වීමට තියෙනවා.”රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයේ ඔහුගේ දායකත්වය ගැනත් ඔහු කියා තිබුණා. “ ධීවරයෙකුගේ චරිතයක්. එක් අවස්ථාවකදී ඔහු මිය යනවා. ඉතින් එහි ඉදිරිය ගැන මොනවගේද කියලා ඒ නාට්‍යය නරඹලා අපි බලමු. මේ දින වල නම් කොරෝනා තත්ත්වය නිසා එහි රූගත කිරීම් නතර කරලා තියෙන්නේ.”

පසුගිය කාලයේදී මහේන්ද්‍ර පෙරේරා නැමති මේ සම්මානනීය රංගධරයා වැඩි හරියක්ම අපට දැක ගන්න ලැබුනේ ටෙලිනාට්‍යවලටත් වඩා ‘දැන්වීම්’ ඔස්සේයි. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙම කතාවක්. “ මේ දිනවලත් එහෙමයි. කාලයකට පෙර මම දායක වූ දැන්වීම් නැවත ප්‍රචාරය වෙනවා. ඊට අමතරව මෑතකදී නිර්මාණය වූ දැන්වීම් එහෙමත් ප්‍රචාරය වෙනවා. ඉතින් ඔබ කියන විදියට වැඩිපුර දකිනවා ඇත්තේ ඒ නිසයි.”

ඒ දැන්වීම් අතරේ කාන්තාවක ලෙස පෙනී සිටින දැන්වීමක් මේ දින වල නිතර ප්‍රචාරය වෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔහු අදහස් දැක්වුවේ මෙලෙසයි. “ එය එම දැන්වීම නිර්මාණය කල අයගේ අදහසක්. චරිත කීපයක් අලලා එය නිර්මාණය වන බව කිව්වා. මම එකඟ වූ මුදලටත් එයාලා කැමති වුණා. ඒ වගේම විවිධ චරිත රගපෑමේ උනන්දුවක් අපට තියෙනවනේ. ඒ නිසා මේ දැන්වීම බාර ගත්තා. කොහොමටත් දැන් අපට මේ පවතින ස්වභාවය එක්ක ජීවත්වීමේ ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ නිසා ඒ ගැනත් හිතන්න වෙනවා. කලාකරුවන් කියන්නේ මාස් පඩි ගන්න අය නෙවෙයිනේ.

මේ තත්ත්වය යටතේ සෑම ක්ෂේත්‍රයකම කලාකරුවන් අසරණ වෙලා ඉන්නේ. ඉදිරියට කලාකරුවන්ට කුමක් වේවිද කියන බය කලා ක්ෂේත්‍රයේ හැමෝටම ඇති. එහිදී එය නිර්මාණය කල අධ්‍යක්ෂක,වේශ නිරූපණ ශිල්පියා ඇතුළු කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබුනා. මෙය ටෙලිනාට්‍යක් හෝ චිත්‍රපටියක් චරිතයක් වගේ නොවෙයි.ඒ විදියේ චරිතයක් නම් අපට ඒ වෙනුවෙන් ලොකු කාලයක් ලැබෙනවා. නමුත් මේක තත්පර ගානක වැඩක්. ඒ නිසා තරමක් සංකීර්ණයි. දැන්වීමට අදාලව ප්‍රකාශ කල යුතු දේ තත්පර ගානක දී කල යුතුව තිබුනා.”

ඉතින් අවසාන වශයෙන් කාගේත් සිත් රංගනයෙන් සොරාගත් ජනප්‍රිය නළු මහේන්ද්‍ර පෙරේරා තම ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අදහස් දක්වා තිබුණේ මේ ආකාරයටයි. “ තමන්ගේ වගකීම හදුනාගෙන යුතුකම් වටහාගෙන හැකිතාක් හොද මිනිහෙක් විදියට ජීවත් වෙන්න. දැන්නේ අපි හැමෝටම ඔක්සිජන් මතක් වෙනවනේ. මින් අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ගැන පහදලා දුන්නේ වසර 2500 කට පෙරදී ආනාපාන සති භාවනාව කියා දීමෙන්. ඒ කිව්වේ ඔක්සිජන් හොඳට ආග්‍රානය  කරන්න කියලයි. අපිට උදේට හොදට ඔක්සිජන් ලැබෙනවා. ඒ පිරිසිදු වාතය උදේට ලබා ගන්න උදේ පාන්දර ඒ පිරිසිදු වාතය ආග්‍රාණය කරන්න. ජීවිතය පිරිසිදු වේවි.” කියයි.