Celebrity Gossip

මාධ්‍යයට සම්බන්ධ වෙනවා කියන එක මගේ තුන් හිතකවත් නොතිබුණු දෙයක් -රසරිසි ගී හරහා ජනප්‍රිය වුන​ නාරද බක්මීවැව

අවුරුදු ගණනාවකට කලින් ලංකාවේ Chart Show අතර පළමු ස්ථානයේ රැදුණු වැඩසටහනක් තමයි ‘රස රිසි ගී’ කියන්නේ. ප්‍රේක්ෂක ජනතාවට නවමු අත්දැකීමක් වුණු මේ වැඩසටහන සමඟ කරළියට පැමිණෙන නාරද බක්මීවැව කවුද කියලා කියන්න අමුතුවෙන් හැඳින්වීමක් අවශ්‍ය නොවෙන තරමට ඔහු ප්‍රේක්ෂකයන් අතර අදටත් ජනප්‍රියයි. සොදුරු කලාකරුවා පසුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙලා මේ විදිහට කතාබහ කරලා තිබුණා. 

‘රස රිසි ගී’ වැඩසටහන එක්ක නාරද – තනූජා කියන නම් යුගලය බ්‍රෑන්ඩ් එකක් බවට පත් වීම ගැන ඔහු මෙහෙම කතා කරලා තිබුණා. “ඒක නම් ඇත්තටම බලාපොරොත්තු නොවුණු දෙයක්. අපිට අවශ්‍ය වුණා වෙනස් විධියේ දෙයක් කරන්න. සරල විනෝදාස්වාදය තුළින් හොඳ පණිවුඩයක් සමාජගත කළා. වැදගත්ම දේ තමයි වෙනස් විධියේ දෙයක් කරන්න අවශ්‍ය කරන නිදහස අපිට ලැබුණා. වර්තමානය වෙනකොට අපි දකිනවා සාමූහික ප්‍රයත්නය කියන දේ ටිකක් බැහැර වෙලා තනි තනි මිනිස්සු වැඩ කරන්න පටන් අරන් තියෙනවා. මම අදහස් කරන්නේ නැහැ ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක ක්‍රියාවක් කියලා. නමුත් අර සාමූහිකත්වය කියන දේ තුළින් අපිට පුළුවන් සාර්ථක නිර්මාණයක් බිහි කරන්න. ‘රස රිසි ගී’ වැඩසටහන හරහා ටෙලිවිෂන් ඇතුළේ ඒ වෙනකොට ගොඩනැඟිලා තිබුණ ආකෘතිය වෙනස් වුණා කියලා මම හිතනවා. ඒ වෙනස දරාගන්න බැරි වුණු පිරිසකුත් හිටියා.”

ඔහු මාධ්‍යයට සම්බන්ධ නොවුණා නම් අද මොනවගේ පුද්ගලයෙක් වෙන්න තිබුණද කියලා මේ විදියට කියලා තිබුණා. “මාධ්‍යයට සම්බන්ධ වෙනවා කියන එක මගේ තුන් හිතකවත් නොතිබුණු දෙයක්. මම මාධ්‍යයට සම්බන්ධ නොවුණා නම් අද මොනවගේ පුද්ගලයෙක් වෙලා ඉඳීද කියන එකට මට සෘජු පිළිතුරක් දෙන්න අමාරුයි. මම ගොඩක් ආස කළා තාක්ෂණික දේවල් ගැන ඉගෙනගන්න. සමහරවිට විශ්වවිද්‍යාල උපාධියත් එක්ක පරිපාලන සේවයේ හෝ ගුරුවරයෙක් ලෙස හෝ සේවය කරමින් ඉන්න තිබුණා. නමුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් ඉන්න අවධියේදිම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණු නිසා මම නිරායාසයෙන්ම මාධ්‍යයට යොමු වුණා. සමහරවිට මම මාධ්‍යවේදියකු නොවුණානම් දේශපාලනයට යොමු වෙන්න අවස්ථාවකුත් තිබුණා. මොකද මගේ තාත්තා දේශපාලනයට සම්බන්ධ වෙලා හිටපු නිසා.”

කාලෙන් කාලෙට මාධ්‍ය තුළින් බිහිවෙන රැලි නිසා මිනිස්සුන්ගේ චින්තනයට වන බලපෑම සම්බන්ධව ඔහුගේ අදහස වුණේ මේකයි.  “රස රිසි ගී වැඩසටහන හරහා අපිත් අලුත් රැල්ලක් හැදුවා. ඒක සමාජයට යම් තාක් දුරට බලපෑම් කළා. එතකොට ඒ නිර්මාණය වෙන රැල්ලේ අන්තර්ගතය ගැන තමයි අපි සැලකිලිමත් වෙන්න ඕනි. ඇත්තටම ඒක මිනිස්සුන්ගේ චින්තනයට බලපෑම් කරනවා. සමාජයට බලපෑම් කරනවා. කෙනෙක් ඒක අනුමත කරනකොට තව කෙනෙක් ඒක විවේචනය කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ නිර්මාණය වුණු රැල්ලට කෙනෙක් විරුද්ධ වෙනවා නම් විවේචනය කරනවා නම් ඒකට ප්‍රති රැල්ලක් හදන්න කවුරුත් උත්සාහ කරන්නේ නැති එක. මම හිතන්නේ ප්‍රති රැලි නිර්මාණය වෙන්න ඕනි.”

කලාකරුවෙක් චරිතාපදානයකට පමණක් සීමා පූර්ණ පිළිබඳව ඔහුගේ අදහස වුණේ මේකයි. “මම හිතන්නේ ඒක සමාජය විසින් පිළිගත්ත ප්‍රසිද්ධ පුද්ගලයන්ට පමණක් සීමා විය යුතු නැහැ. සාමාන්‍ය මනුස්සයෙක් ගත්තොත් ඔහු හෝ ඇය නැති කාලෙක ඒ අදාළ පවුලට ඔහු හෝ ඇය ගැන නිරන්තරයෙන්ම කතා කරන්න මතක් කරන්න පුළුවන් තරමේ හොඳ දේවල් ඒ මනුස්සයාගේ ජීවිතය තුළ තියෙන්න ඕනි. කලාකරුවෙක් ගත්තොත් සමස්ත ප්‍රේක්ෂක ජනතාවට බලපෑම් කරන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනෙක් වෙන්න ඕනි. ඒ අය කරන දේ සමාජයේ යහපත සහ අභිවෘද්ධිය වෙනුවෙන් කරන්න ඕනි. කලාකාරයෙක් සතුව පුළුල් දැක්මක් තියෙන්න ඕනි. ආගම්වාදී, ජාතිවාදී කලබලයක් වෙලාවක ඒක උසිගන්වනවා නම් ඔහු හෝ ඇය කලාකරුවෙක් නෙමෙයි.”

වර්තමාන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය ගැනත් ඔහු කියලා තිබුණා. “අපි ඉගෙනගත්ත මාධ්‍ය ආචාරධර්මවලින් එහාට ගිහිල්ලා දේශපාලන බල ව්‍යාපෘතිවලට හිර වෙලානේ තියෙන්නේ. ඒක බොහොම පැහැදිලිව පේන කතන්දරයක්. ප්‍රගතිශීලීයි කියන මාධ්‍ය වුණත් තව කාගෙහරි පිටපතකට අනුව තමයි වැඩ කරන්නේ. ලංකාව ඇතුළේ ආදර්ශයට ගත හැකි මාධ්‍ය සදාචාරයක් සහිතව කටයුතු කරන සමූහ නැහැ. ඒ කාලේ කෙළින් කතා කරන්න බැරි මිනිස්සු කැලෑ පත්තර ගැහුවා වගේ දැන් සමාජ මාධ්‍ය ඇතුළේ ෆෙක් ප්‍රොෆයිල්ස් සෑහෙන තියෙනවා. ඒ හරහා වෛරීසහගත දේවල් සමජගත කරනවා. මේ තත්ත්වය සමනය කරන්න පුළුවන් වෙන්නෙත් නිර්මාපකයන්ට විතරනේ. මම හිතන්නේ අපි සමාජ මාධ්‍ය සාක්ෂරතාවයක් ගොඩනඟාගන්න ඕනි. පුරවැසියෝ විධියට අපි තේරුම් ගන්න ඕනි අපිට අවශ්‍ය ගැළපෙන දේ පමණක් තෝරා ගන්න.” කියලයි ඔහු අවසාන වශයෙන් කියලා තිබුණේ.