Celebrity Gossip

මිනිස් ජීවිතය අනුකරණය කිරීම තමයි කලාව කියන්නේ.නමුත් අපේ අය කරන්නෙ කලාව අනුකරණය කිරීමක්-තුසිත ලක්නාත්

තුසිත ලක්නාත් කියන්නේ  කලා ක්ෂේත්‍රයේ ඉන්න  ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක්. වේදිකාව තුළින් රංගනයට පිවිසෙමින් විවිධ වෙනස් චරිත හරහා ප්‍රේක්ෂකයාට සමීප වූ පිටපත් රචකයෙක් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කරන මේ දිනවල විකාශය වන සකර්ම ටෙලි නාට්‍යයේ ලීලේගේ චරිතය තුළින් ඔබ සමීපයට එන තුසිත ලක්නාත් පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් ක්‍රමයකට වෙමින් මේ විදියට කතාබහ කරල තිබුණා.මේ දවස්වල ගෙවන ජීවිතේ ගැන ඔහු කියලා තිබුනේ මෙහෙමයි. “මේ දවස්වල ඉතින් ගෙදරටම වෙලා තමයි ජීවිතේ ගෙවෙන්නේ. එළියට පහළියට යනවා අඩුයි. චිත්‍රපට බලනවා. වගා කරනවා. ඒ වැඩකටයුතුත් එක්ක පවුලෙ අයත් සමඟ ජීවිතේ ගෙවෙනවා.”

සකර්මහි ලීලේගේ චරිතය ගැන ඔහු මෙහෙම කියලා තිබුණා. “මම බණ්ඩාරවෙල ඉපදුනාට අවුරුදු 4 සිට කොළඹ හැදුණු වැඩුණු කෙනෙක්. ගම ගැන හෝ ග්‍රාමීය මනුෂ්‍යයාගේ ස්වරූපය පිළිබද මගේ අත්දැකීම සමීප නැහැ. සරම් අඳින චරිත මට හරි ආගන්තුකයි. යක්ෂ බලපෑම්, බලි තොවිල් මම විශ්වාස කරන්නේ නැහැ. මම දකින ගම තුළ ඉන්නෙ පීඩාවට පත් වූ චරිත. ලංකාවෙ කොළඹ කේන්ද්‍ර කරගත් දේශපාලන සමාජ තත්ත්වයන් එක්ක ඊට පරිබාහිර අය ජීවිතය විඳිනවට වැඩිය විඳවනවා. එකඟතාව හෝ කැමැත්ත මත හෝ නිදහස මත ඒව සිද්ධ වෙන්නේ නැහැ. මම දකින ලීලේ කියන්නෙත් පීඩනයෙන් මිරිකුණු චරිතයක්. ස්වභාව ධර්මයේ අද්භූතත්ත්වයට ඔහු ද්විත්ව පෞරුෂයක් වර්ධනය කර ගැනීමක් මඟින් අදිසි බලවේගයක් ආරෝපණය කර ගන්නා ආකාරයක් පෙනෙනවා. මට හිතෙන විධියට ඒක සිද්ධ වෙන්නෙම ඔහුට එන පීඩනය නිසාම තමයි.”

ගුණාත්මක නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයා අතරට යාම පිළිබඳව ඔහු දක්වලා තිබුණේ මෙවැනි අදහසක්. “නිර්මාණයක් ගුණාත්මකද නැද්ද කියන එක මම විනිශ්චය කරන්නෙ නැහැ. ඒක ප්‍රේක්ෂකයන්ට බාරයි. මම හිතන්නෙ ලංකාවේ නළුවෙක් විධියට මේ කර්මාන්තය තුළ මම වෘත්තිකයෙක් වෙන්නේ කොහොමද කියන එක. මම මුලින්ම ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ අවුරුදු 24දි විමුක්ති ජයසුන්දරගෙ අහසින් වැටේ කියන චිත්‍රපටයේ. නමුත් අවුරුදු දෙකක් මම බලාගෙන හිටිය ඒ චිත්‍රපටය තිරගත වෙයි කියලා. ඒත් තාමත් ඒක ආවෙ නෑ. ඊට පස්සේ තමයි මම ටෙලිනාට්‍යවල රඟපානවා කියලා හිතුවේ. සාරංග මෙන්ඩිස්ගේ දේදුන්නයි ආදරේ ටෙලිනාට්‍ය මගේ පළමුවැනි මෙගා ටෙලි නාට්‍යයි.

ඒ වන විට ලංකාවෙ පෙන්නපු ටෙලිනාට්‍යවලින් 60%ක්ම ඉන්දියානු මෙගා ඉන්දියානු ටෙලි නාට්‍ය. ශ්‍රී  ලංකාවේ ටෙලි නාට්‍ය අවකාශයෙන් වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගත්තට පස්සේ නළුවෝ විධියට අපිට වැඩ කරන්න නිර්මාණ නැහැ. අපේ ආර්ථික තත්ත්වය කළමනාකරණය කරගන්න බැහැ. ඒකත් එක්ක තමයි මම මෙගාවල රඟපාන්න ආවේ. වර්තමානයේදී වෙනත් රටවල නාට්‍යවලට වඩා ලංකාවෙ ටෙලිනාට්‍යවලට මුල් තැනක් ලැබිලා තිබෙනවා. ඒකට එක හේතුවක් වන්නෙත් මේ මෙගා නාට්‍යම තමයි. මේ වන විට ජනප්‍රියත්වය කියන එක ටෙලිවිෂන් නාළිකාවලින් හදපු දෙයක් මිසක් ඇත්ත එකක් නෙවෙයි.”

නිර්මාණකරුවන් තුළ දක්නට ලැබෙන අතීතකාමය වෙනස් නිර්මාණ බිහිවෙන්න බාධාවක්ද යන ප්‍රශ්නයට ඔහු පිළිතුරු දීලා තිබුනේ මේ විදියටයි. “ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න එන අය සමහරක් ලෝකෙ තියෙන ටීවී සීරීස් එකක්වත් බලලා නැහැ. දැනට අවුරුදු 20කට විතර කලින් කරපු නිර්මාණවලින් තමයි උදාහරණ ගන්නේ. යාවත්කාලීන නැහැ. මේ යුගයේ දේවල් එක්ක මිනිස්සු වැඩකරනවා. උදාහරණයක් ගත්තොත් මෑතකදි Money Heistsහි 5 වැනි කතා මාලාව නිකුත් වුණා. ඒ තුළ දක්නට ලැබෙන මනුෂ්‍ය සම්බන්ධතාවලට මැදිහත්වන මැදිහත් වීම මාරයි.

මම කියන්නේ අපි අලුතෙන් හිතලා හොඳ ටෙලිනාට්‍ය මහන්සිවෙලා කරනවා නම් මිනිසුන්ගේ ඔළු දියුණු කරන්න පුළුවන්. අපි ව්‍යාජ දේවල් ගොඩකට හිරවෙලා ඉන්න මිනිස්සු. අපි අපේ සම්බන්ධතාවලට අවංක නැහැ. කලාව ඇතුළෙ මේ වගේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපේ අය උත්සාහ කරන්නේ කලින් කරලා තිබෙන නිර්මාණයක් වගේම තව එකක් කරන්න. මිනිස් ජීවිතය අනුකරණය කිරීම තමයි කලාව කියන්නේ. නමුත් අපේ අය කරන්නෙ කලාව අනුකරණය කිරීමක්.”රංගන වෘත්තිය තුළ ඔහුගේ තෘප්තිමත්භාවය ගැන ඔහු කියලා තිබුනේ මෙහෙමයි. “මට තෘප්තියක් ලැබෙන දේවල් පමණයි මම කරන්නේ.  මට තෘප්තියක් ලැබෙන්නේ නැති තැන්වලින් මම ඉවත් වෙනවා.” ලෙසයි ඔහු අවසාන වශයෙන් කියලා තිබුණේ.