Celebrity Gossip

මගේ සින්දු වලටත් සමහරු මල් සින්දු කියලා තිබෙනවා.ඒවට අපි තරහා අරන් හරි යන්නේ නැහැ-ජූඩ් රෝගන්ස්

ජූඩ් රොගන්ස් කියන්නේ සංගීත ක්‍ෂේත්‍රයේ ඉන්න දක්‍ෂ ජනප්‍රිය ගායකයෙක්. ඔහු විවිධ ආරේ ගීත රාශියක සාඩම්බර හිමිකරුවෙක්.  ‘හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ.’ මේ ලොකු කුඩා කාගේත් දෑස් තෙත් කිරීමට සමත් ඔහුගේ ගීතයක වචන කිහිපයක්. කණ්ඩායම් සංගීතයෙන් කලා ලොවට පැයූ ඔහු අද වන විට සෝලෝ ආර්ටිස්ට් කෙනෙක් විධියට වැඩ කරගෙන යනවා. ඉතින් ඔහු පසුගිය දවසක පුවත්පතක් සමඟ එකතු වෙලා මේ විදියට කතාබහ කරලා තිබුනා.ඔහුගේ වෘත්තීයමය තත්ත්වය ගැන ඔහු මුලින්ම කියලා තිබුනා. “මගෙ තාත්තා හොඳ ගොවියෙක්. මම දැන් අවුරුදු 17ක ඉඳන්ම ගොවිතැන කරනවා. ඒක අදටත් ඒ විධියටම කරගෙන යනවා. ඉතින් ඒ අතරතුර තමයි සංගීත කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. මගෙ වයිෆ්ගෙ තාත්තත් ගොවිතැන් තමයි කරන්නේ. කුලියාපිටියෙ බුලත් වගාව ඔහු තමයි බලා ගන්නෙ.”

මුල් අවධියේ ඔහු දක්‍ෂ ඩ්‍රම්ස් වාදකයෙක් වුනත් එම වාදකයාව දැන් දකින්න නොලැබීමට හේතුව ඔහු මෙලෙස කියා තිබුනා. “1996දී ශාන්ත ඇලෝසියස් දෙව්හලට ඇතුළුවුණු කාලයෙදි තමයි මම ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් වශයෙන් කටයුතු කළේ. එදවස මම හදිසි අනතුරකට ලක්වුණා. එදා මගෙ වම් අත කැඩුණා. එයින් පසුව වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මට වාදනයෙන් ඈත් වන්නට සිදු වුණා.”ගීත ගායනයට යොමු වූ ආකාරයත් ඔහු මෙහිදී කියා තිබුනා. “ඇලෝසියස් දෙව් මැඳුරේ ඉගෙනුම ලබද්දී මට හඬ පුහුණුව අවුරුදු 3ක් ලබාදී සංගීතය ක්‍ෂේත්‍රයේ හරි මාර්ගයට මාව යොමු කළේ දෙව් මැඳුරේ අල්මේදා සර්. එතැනින් එහාට මාව ලෝකයටම හඳුන්වා දුන්නේ සීදුවේ සකුරා කණ්ඩායමේ අජිත් විතානගේ අයියා. ජූඩ් රොගන්ස් කියලා කෙනෙක්ව මේ රටට හඳුන්වා දුන්නාට ඔහුට අවංකවම ස්තුතියි. ඒ ගරුත්වය හැමදාම එම දෙපළටම තිබෙනවා. එහෙම ආව මගේ සංගීත දිවියට දැන් අවුරුදු 21ක් වෙනවා. සීදුවේ සකුරා කණ්ඩායමෙ අවුරුදු 15ක් වැඩ කළා.”

පසුගිය කාලයේ ඔහු ගායනා කළ ගීත කිහිපයක්ම අතිශය ජනප්‍රිය වුණා. ඒ ගැනත් ඔහු මතක් කරලා තිබුනා. “පරිසරය, සොබාදහම, මවුපියන් ආදී මාතෘකාවලින් ගීත ගායනා කරන්න ලැබෙන එකම ලොකු භාග්‍යයක්. අම්මා තාත්තා ගැන ගීත කොපමණ නිර්මාණය කළත් එයාලගෙන් අපට ලැබුණු දේවල්වල අඩුව පුරවන්න බැහැ. හිමාලෙට වඩා උසයි, අම්මා කියලා බහ තෝරනා කියන ගීත දෙක 2016, 2017, 2018 තුන තුළම පිට පිටම ජනතා සම්මානය දිනා ගත්තා. මට හිතාගන්න බැහැ මිනිස්සු මෙච්චර මේ ගීත දෙකට ආදරේ කළාද කියලා. මේ ගීත ඉන්දියන් මෙලඩි එකකට නිර්මාණය වූවක්. එහි පද රචනය ඩිලාන් ගමගේ මහතාගේ. ඉතින් අදටත් මේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ හැර එහි නීතිමය පැත්ත ගැන නම් කිසිම ‍දොසක් අහන්න වෙලා නැහැ.”

පැරණි ගීතයන් හට නව අරුතක් දෙමින් නැවත නිර්මාණය වීම පිළිබඳ ඔහු අදහස් දක්වලා තිබුනේ මෙහෙමයි. “ඇත්තටම මීට වසර 10කට පෙර එඩ්වඩ් ජයකොඩි මහතාගේ මේ මල්යායෙ ගීතය නැවත නිර්මාණය කරන්න ලැබුණා. එයින් පසුව මම රීමේක් ගීත ගායනා කරන එක නැවැත්තුවා. මොකද එයින් මුල් ගායකයන්ගේ හිත රිදීමක් වෙන්නත් පුළුවන්. එය සාධාරණයි. නමුත් පුංචි ‍දෝණි ගීතයේ පද රචනාව තිස්ස ඩයස් මහතාගේ. මගෙ මිත්‍ර ගිහාන් ඉෂාන් මහතා තමයි මෙහි නිර්මාණ කාර්යයන් කළේ. එතුමාට තිස්ස ඩයස් මහතා කිසිදු පැකිළීමකින් තොරව ලිඛිතව සම්පූර්ණ අයිතිය අපට ලබා දුන්නා. ඉතින් එය වංචාවක් නොවෙයි. ඉතින් මේ ගීතයට කිසිදු, විකෘතියකින් තොරව ඕන කෙනෙක්ට අහන්න පුළුවන් විධියට උපරිම සාධාරණයක් ඉටු කළා. ජෝතිපාල මහතා වැනි අග්‍රගණයේ ගායකයකුගේ ගීතයක් ගායනා කරන්න ලැබීම මා ලද භාග්‍යයක්.”

එක් කාලයකදී ආපු මල් සින්දු රැල්ල පිළිබඳවත් ඔහුගේ අදහස් දක්වලා තිබුනා. “අපේ මේ සංගීත ක්‍ෂේත්‍රය තුළම මිනිස්සු හදාගත්ත වචනයක් තමයි ඔය මල් සින්දු කියන වචනය. ඇත්තම කීවොත් ක්ෂණිකව යම් සින්දුවක් පහළට දාන්න හදාගත්ත වචනයක් ඕක. ලංකාවේ එක් එක් පිරිස් අපිට ඕන මේ ගණයේ ගීත කියලා එක් එක් වර්ගයේ ගීත වෙන්කරගෙන සිටිනවා. ඉතින් ඔය ඔක්කොමලාට ගැළපෙන්න ගීත කරන්න ගියොත් අපි නැතිබන්ගස්තාන වෙනවා. ඇත්තටම සෑහෙන මහන්සියක් වෙන්න ඕන ගීතයක් හදන්න. මගේ ගීතවලටත් සමහර අය මල් ගීත කියලා තිබෙනවා. ඒවට අපි තරහා අරන් හරි යන්නේ නැහැ. මගේ ගීත හරහා කාට හෝ යම් පණිවුඩයක්, සිතට සහනයක් දීම තමයි මන් අපේක්ෂා කළේ.” කියලයි ඔහු අවසන් වශයෙන් සඳහන් කරලා තිබුනේ.