Celebrity Gossip

කළින් කීයක් හරි ඉතුරු කරගත්තු නිසා අද කොන්ද කෙළින් තියන් ජීවත් වෙනවා – ඉන්ද්‍රජිත් දොලමුල්ල

දුරස්වන්නට සිතන හැම විට සිතින් ළං වෙනවා. මේ ගීත ඛණ්ඩය ඇසෙන විට අපේ මතකය 90 දශකය කරා දිව යනවා. ඔහු 90 දශකයේදී දක්ෂ Keyboard වාදකයෙකු ලෙස කලාවට පැමිණ පසුව ගී ලොව සිහින තරුවක් බවට පත්වූ අයෙක්. ඔහු නමින් ප්‍රවීණ ගායන ශිල්පී ඉන්ද්‍රජිත් දොලමුල්ල. ඔහු පසුගිය දවසක පුවත්පතක් සමඟ පිළිසඳරක යෙදිලා තිබුණේ මෙහෙමයි.ඔහුගේ මේ දිනවල වැඩකටයුතු සහ ඔහු‍ අතින් නිර්මාණය වූ ගීත සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ මෙයයි. මගේ සියලුම ගීතවල සංගීතය හා ගී තනු නිර්මාණය සිදු වන්නේ මගේ අතින් නිසා මේ කොවිඩ් සමයේ නිවසේ සිට අලුත් ගීත 100ක් පමණ නිර්මාණය කළා. ඒ සඳහා අලුත් පද රචක රචිකාවන්ටත් අවස්ථාව දුන්නා.

ගීතය ලස්සන නම් මට නවක පැරණි භේදය අදාළ නෑ. මගේ අතින් නිර්මාණය වූ ගීත ගොන්නක්ම තියනවා. මගේ මල වී ඔබ, ආදරේ සුවඳ, ගත දුබලයි, සිනහව කඳුලකි, සඳ අහසට, ආදරෙයි නමින් මගේම කැසට් පට 05ක් ආවා. ඊට අමතරව සන්ෆ්ලවර් ගීත රැල්ල ආ මොහොතේ සීඩී පට 02ක් කළා. ඒ වගේම මගේ අතිශය ජනප්‍රිය ගීත කිහිපයක් එක්කොට රීමේක් එකකුත් මෑතකදී කළා. එය මේ දවස්වල FM චැනල්වල යනවා. ඒ වගේම දුරස්වන්නට සිතන හැම විට, ගත බබළයි, සඳලු තලේ, තරුණ සිතට රිදුම් දිදී, සිතක් තියනවා ආදර සිතක් තියනවා, සමුගෙන යන්න කලින්, ඔබ මගෙ සෙනෙහස යදින දිනෙ, දයාබර නෙතු සඟලේ, මලක් වී ඔබ වැනි අතිශය ජනප්‍රිය ගීත ඇතුළත්ව ගීත 300කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා.

ඔහුට ලැබුණ රසික ආදරය ගැන ඔහු කියා සිටියේ මෙයයි. ඒ කාලේ අපේ රසිකයින් පොඩිහරි මුදලක් ඉතිරිකරගෙන අපේ කැසට් පට මිලදීගෙන නිවෙස්වලට ගොස් රස වින්දා. එතකොට අද වගේ FM නාලිකා එහෙම තිබුණේ නෑනේ. එදා ඔවුන් ඒ ගීතවල තිබුණු ගුණාත්මක බවට තමයි ඇලුම් කළේ.  ඒ රසිකත්වය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දැන් ගීතයක් සමඟ රූප රචනයකුත් තිබිය යුතුයිනේ. මම එදා සහ අද අතර එක වෙනසක් දකිනවා. එනම් ඉස්සර රසික රසිකාවියන්ගේ ආදරය සහ අද රසික රසිකාවියන්ගේ ආදරය අතර ලොකු වෙනසක් තියෙනවා. ‍‍‍ඉස්සර තිබුණ රසික රසිකාවියන්ගේ ආදරය දැනට වඩා ගොඩක් සුන්දරයි.

කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ඔබ ඇතුළු සියළුම කලාකරුවන්ට රජයේ මැදිහත් වීමෙන් කුමන හෝ සහනයක් ලැබුණාද යන පැණයට ඔහුගේ පිළිතුර වූයේ මෙයයි. ඇත්තටම අපේ ආණ්ඩු ක්‍රමය තුළම එහෙම ඇගයීමක් නැහැ.  වෙනත් රටවල නම් ප්‍රචාරය වන සෑම ගීතයකටම ලොකු මුදලක් ලැබෙනවා. තුන්වැනි ලෝකයේ රටවල් නිසාද මන්දා ඒ වගේ හරි ක්‍රමවත් භාවයක් අපේ රටේ නැහැ. නමුත් ඉතින් අපි එදා සිටම ඉතිරි කරගත් දෙයින් කොන්ද කෙළින් තියාගෙන අදටත් ජීවත් වෙනවා.වෙනවා කියලයි ඔහු වැඩි දුරටත් එහිදී කියා තිබුණේ