Celebrity Gossip

කෑම කන වෙලාවට සිවුර අයින් කරනවා.මස්,මාළු කන්නෙත් නැහැ.සිවුර අඳින නිසා ඒ විදියට පේවිලා ඉන්නේ-සචින්ත රන්දීප

නාඩගම්කාරයෝ  කියන්නේ අද ලංකාවේ වයස් භේදයකින් තොරව ලොකු කුඩා හැමෝගෙම ආදරය දිනාගත්තු ටෙලිසිත්තමක්. ඉතින් නාඩගම්කාරයෝ සරසන්න පොඩි හාමුදුරුවන්ගේ චරිතයෙන් ඉතාමත් තාත්වික රංගන දක්ෂතාවයක් දක්වන ඔහු නමින් සචින්ත රන්දීප පෙරේරා. සද්ධා මංගල සුරියබණ්ඩාර යටතේ ඉන්ෆාස් ආයතනයෙන් රංගනය හදාරා මේ විදියට රංගනයට ආ සචින්තගේ පළමු ටෙලිනාට්‍ය රංගනය වන්නේ මේ පොඩි හාමුදුරුවන්ගේ චරිතයයි. ඉතින් සචින්ත පුවත්පත් මාධ්‍ය සාකච්ජාවක් සමඟ එක්වෙමින් කළ පිළිසඳරක තතු අද ඔබ වෙත ගෙන එන්නට අප සුදානම්.වයස අවුරුදු 22ක තරුණ කොලු ගැටයෙක් මිනිසුන් ඇත්තම හාමුදුරු නමක් කියා සිතන තරමට ඉතාම තැන්පත්ව තම රංගන කෞශල්‍ය දක්වනවා ඔබ දැක ඇතියි. මෑත කාලයේ එතරම් තැන්පත් ස්වාමින් වහන්සේ නමක් මෙන් රංග දැක්වූ රංගන ශිල්පියෙක් නොමැති තරම් කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ තරම් දස්කම් පෑ වත්තල උපන් සචින්ත දැන් පදිංචි ස්ථනය දෙල්ගොඩයි. අම්මා, තාත්තා, ආච්චී සහ අක්කා ගෙන් සැදුම්ලත් ඔහුගේ පුංචි පවුලේ අක්කා දැනට විවාහක බවත් පවසා තිබුණා.

සචින්ත තම අරමුණ ගැන කිව්වේ මෙවැන්නක්. ” රංගනයට ආසා කළා. ඉගෙන ගත්තෙත් ‘ ඩ්‍රාමා ‘ අංශයෙන්. පාසල් කාලයේ ඉඳලාම වැඩමුළු වලටත් ගියා. පාසල් නාට්‍ය කණ්ඩායමේත් හිටියා. පසුව වේදිකා නාට්‍යවලත් රඟපෑවා. රංගනයට අත්තිවාරම ලැබුණේ පාසලෙන්. පොඩි කාලේ ඉඳලා තිබුණු හීනයක්. දක්ෂයි කියලත් හිතුවා පාසලේදී සහතික එහෙමත් ලැබෙද්දී. ” කියලයි ඔහු කිව්වේ.ඒ වගේම ඔහු ඊළඟට කතා කළේ නාඩගම්කාරයෝ පොඩි හාමුදුරුවන්ගේ චරිතය ලැබුණු ආකාරය ගැනයි. ” විශේෂ හේතුවක් තිබුනේ නැහැ. සද්ධා සර් තමයි ඒ අවස්ථාව මට ලබා දුන්නේ. ස්ක්‍රීන් ටෙස්ට් තියන්නවත් සුදුසු කාලයක නෙවෙයි මේකට සම්බන්ධ වුණේ. ස්ක්‍රීන් ටෙස්ට් එකට සම්බන්ධ වුණේ ඔන්ලයින් වීඩියෝ මඟින්. පොඩි හාමුදුරුවන්ගේ චරිතය ලැබීම දුර්ලභ අවස්ථාවක්. සිවුරක් පොරවගන්න එක වෙනමම කටයුත්තක්. ජීවිතයට හරියට වටිනා දෙයක්. කැපකිරීමක් කළයුතු චරිතයක්. කොණ්ඩය කපන්න සිද්ධ වුණා.”

ඊළඟට ඔහු කතා කළේ පොඩි හාමුදුරුවන්ගේ චරිතය ගැනත් සිවුරු අඳින්නට පෙර සිදු කරනු ලැබූ පිළිවෙත් ආදිය ගැනයි. ” පන්සලට ගිහින් බෝධී පූජා කරලා පිරිත් කියලා පිරිත් නූල් බැඳලා එහෙම කළේ. දර්ශන තලයේ කෑම කන වෙලාවට සිවුර අයින් කරනවා. මස් , මාළු කන්නෙත් නැහැ. සිවුර අඳින නිසා ඒ විදියට පේවිලා ඉන්නේ. අපි ඉන්නෙත් පන්සලක නිසා එහෙම කරනවා. හාමුදුරු චරිතයට මුලින්ම මම බය වුණා. නමුත් මම අන්තිමට ඉගෙන ගත්තේ පිරිවෙනක නිසා භික්ෂුන් වහන්සේලාගේ ඇසුර ලබා තිබු නිසා මට ඒක ලෙහෙසි වුණා.” කියලයි ඔහු නම් කිව්වේ.

හුඟක් ප්‍රේක්ෂකයින් මුලින්ම රැවටුණා සචින්ත ඇත්තටම හාමුදුරු නමක් කියලා. ඉතින් ඔහු ඒ ගැන මතක් කළේ මෙහෙමයි. ” අනේ ඔව්, ඇත්ත හාමුදුරු නමක් කියා හිතාගෙන වැඳලා යන අවස්ථා තියෙනවා. මැද්දගම රජමහා විහාරය වඳින්න එන බැතිමතුන්ට එහෙම වෙනවා. ශුටින් බලන්න එන අයත් හිතන්නේ ඇත්තටම මම හාමුදුරු නමක් කියලා. එක අවස්ථාවකදී ‘ සිල් ‘ දෙන්න ලැබුණා. සෙනඟ ගොඩක් හිටියා. ගාථා කියන්නත් තිබුණා. එතැනදී මම බය වුණා. කැමරා අධ්‍යක්ෂක අයියා ප්‍රභාත් දර්ශන අයියා ඇතුළු පිරිස බය නැති කළා. “

රංගනයේදී ඔහු ඉතා නිවුණු චරිතයකට පණ පෙව්වත් ගෙදරට ඔහු සෙල්ලක්කාර, හුරතක්ලු. ඊට අමතරව පිළිවෙලකට වැඩ කරන්නත් කැමති, ආඩම්බර නැති ඕනෑම කෙනෙක් එක්ක කතාබහ කරන චරිතයක් විදියටත්  තමන්ව හඳුන්වා තිබුණා. ඒ වගේම සචින් රංගනය වගේම ගායනයටත් දක්ෂයිලු. රංගනයෙන් ඉදිරියට යාම ඔහුගේ අරමුණ බවත් ඔහු අවසාන වශයෙන් කියා තිබුණා. ඒ කොහොම වුණත් සචින්තගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවායි අපිත් ප්‍රර්ථනා කරමු.