Celebrity Gossip

අනාගත බලාපොරොත්තුව ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම නමක් හදාගත්ත කලාකරුවෙක් වෙන්න. – විරාජ් දනුෂ

මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ හදවත් තුල නාඩගම් නටන කොලු ගැටව් කණ්ඩායමක් ඉන්නවා. රූපවාහිනිය පමණක්ම නෙවෙයි අති විශාල ප්‍රේක්ෂකයන්ගේ හදවත් නාඩගම් මඩුවක් කරගෙන නාඩගම් නටන කොලු නඩයේ ඉන්න වීරයෝ හතර දෙනා තමයි සරා, කවඩියා, කිරි පුතා සහ සුද්දා කියලා කියන්නේ. මේ වදකාර කොලු කාණ්ඩය ගැන කතා කරනකොට සුද්දා කියලා කියන්නෙත් අමතක කරන්නම බැරි නාඩගම්කාරයෙක්. ඉතින් මේ සුද්දගේ චරිතයට රංගනයෙන් දායකත්වය ලබාදෙන විරාජ් ධනුෂ පසුගිය දිනයක​ පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් සමඟ එක්වෙමින් කළ කතාබහක් පිලිබඳ විස්තර ඔබ වෙත ගෙන එන්නටයි අපේ සුදානම.

ලාංකීය ප්‍රේක්ෂක ජනතාව විරාජ් කියන චරිතයට වඩා අද ඔහුව හඳුනන්නේ සුද්දා කියන නමින් කිව්වොත් නිවැරදියි. ඉතින් මුලින්ම ඔහු කතා කළේ ඒ ගැනයි. “ මෙහෙමයි සුද්දා කියන්නේ මේ සමාජයේ ජීවත් වෙන මනුස්සයෙක්. සමාජේ තරුණයෙක්ට හිමිවෙලා තියෙන ඉරණම තමයි මේ චරිතයෙන් පෙන්නුම් කරන්නේ. විරාජ් කියන නමට වැඩිය සුද්දා කියන නම සමාජයට ගිහින් තියෙන්නේ සමාජ ප්‍රශ්න ගොඩක් කතා කරන හින්දනේ. ඉතින් ඒ විදියට සමාජය මාව පිළිගන්න එක මට ගොඩක් වටිනවා.” කියලයි ඔහු කිව්වේ.

නව පරපුරේ රංගන ශිල්පියෙක් විදියට විරාජ් කෙටි කාලයක් තුළ බොහෝ නිර්මාණයන්ගෙන් දැකගන්නට ලැබුණා. ඒ වගේම තවමත් රූප රචනා තුලින් නම් ඔහුව ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙන්නේ නැති තරම්. ඒ ගැන ඔහු සඳහන් කර තිබුණේ මේ ආකාරයටයි. “ මගේ පළවෙනි නිර්මාණය රොහාන් පෙරේරා සර්ගේ අධ්‍යක්ෂණයෙන් නිම වුණු ඒ ලෙවල් චිත්‍රපටය. ඒත් එක්කම අහස් මාළිගා , රේස් ඇතුළුව බොහෝ නිර්මාණ සමඟ සම්බන්ධ වුණා. ඒ අතර නාඩගම්කාරයෝ කියන්නේ මේ දවස්වල ප්‍රධාන චරිතයක් ලෙස සම්බන්ධ වන නිර්මාණයක්. ඒ වගේම මම දැනට සාමාන්‍යයෙන් මියුසික් වීඩියෝ සමඟ සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් දැනට නිර්මාණ දෙකක් කරලා තියෙනවා.”

ඒ අතර ඔහු රංගනයෙන් දායක වෙලා ඉන්න නාඩගම්කාරයෝ ටෙලිසිත්තම අති සාර්ථක ගමනක් මේ දක්වා ඇවිත් තිබෙනවා. විරාජ් ඒ ගැනත් කතා කළා. “ මෙහෙමයි, ඒකේ සාර්ථකත්වයට මුලිකම හේතුව සමාජයේ තියෙන ප්‍රශ්නාවලියක් මේ තුළින් කතා කිරීම. අපේ සමාජයේ පීඩිත පන්තිය , මධ්‍යම පන්තිය , ධනවත් පන්තිය කියලා පන්ති තුනක් තියෙනවනේ. ඒ තුනටම අදාලව සමාජීය, දේශපාලනික, අධ්‍යාත්මික කියන ප්‍රශ්න ටික කතා කරන නිසා තමයි එය ජනප්‍රියම ටෙලිනාට්‍ය වෙලා තියෙන්නේ.”

ඉතින් ඊට පස්සේ විරාජ් කතා කළේ ආදරේ ගැන වගේම ඔහුගේ අනාගත සහකාරිය මොන වගේ කෙනෙක් වෙන්න ඕනද කියන එක ගැනයි. “ ආදරේ කියන්නේ හරි සුන්දර දෙයක්. විඳින්න ඕන දෙයක් සහ ආදරේ අපේ ජීවිතේට අවශ්‍යයි. ආදරේ කියන එක හරියට භාවිතා කරන්න අපි දැනගන්න ඕන. එතකොට මම බලාපොරොත්තු වෙන අනාගත සහකාරිය ගැන කියනවා නම් මෙහෙමයි. ආදරේ කියන්නේ තේරුම් ගැනීම බලාගැනීම හා විශ්වාසවන්තභාවයත් එක්ක ගොඩනැඟුණු දෙයක්. තමන් කරන රස්සාව, අඳින ඇඳුම්, රූපයම නෙවෙයි විශ්වාසයෙන් යුතුව කටයුතු කරනවා නම් අන්න එහෙම කෙනෙක් තමයි මං බලාපොරොත්තු වෙන්නේ.”

ඒ වගේම අවසාන වශයෙන් විරාජ් ඔහුට ශක්තියක් වුණු පිරිස සිහිගන්වමින් ඔහුගේ අනාගත බලාපොරොත්තුව කියා තිබුණේ මේ විදියටයි. “ මුලින්ම මම මතක් කරන්න ඕන මගේ අම්මව. එයා නැත්නම් අද මම මෙතන නැහැ. තාත්තා නැතිවෙලා දැනට අවුරුදු 7ක් වෙනවා. ඉතින් මගේ අම්මා තමයි මගේ ලෝකයම. ඒ වගේම මගේ පවුලේ සියලුම දෙනවා. රොහාන් පෙරේරා ගුරුතුමා, සද්ධාමංගල සුරියබණ්ඩාර සර්, චේතනි විජේතුංග මිස්, ප්‍රසන්න මහගමගේ සර්, ජයලත් මනෝරත්න සර්, චාමර ජයවික්‍රම අයියා, ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සර් ඇතුළුව සියලුම අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන්, මගේ පාසල් වල සියලුම ගුරුවරුන්ව ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම ආදරණීය මගේ ප්‍රේක්ෂකයන් ඇතුළුව වචනයකින් හරි ශක්තිමත් වුණු සියලුම දෙනාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අනාගත බලාපොරොත්තුව ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම නමක් හදාගත්ත කලාකරුවෙක් වෙන්න. කියලයි ඔහු අවසාන වශයෙන් කියා තිබුණේ