Celebrity Gossip

රංගනය නිසා ගුරුවෘත්තියවත්, ගුරුවෘත්තීය නිසා රංගනයවත් කවදාවත් අතහරින්නේ නැහැ-රංගන ශිල්පී දිනුක් බෙන්තරගේ

අපේ රටේ ප්‍රසිද්ධ කලාකරුවන්ට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට මිනිසුන් හරිම ආදරෙයි. ඉතින් ඒ වගේම ආදරය කරන තවත් කොටසක් තමයි ගුරුවරු කියන්නේ. ජිවිතේ ට පැහැදිලි අරමුණක් තියාගෙන එන ඕනෙම අභියෝගයක් ජයගන්න පුළුවන් තරුණයෙක් විදියට හඳුන්වන්න පුළුවන් ඔහු නමින් දිනුක් බෙන්තරගේ. ඔහු භූගෝල විද්යාව විෂය උගන්වන ආදරණීය ගුරුවරයෙක්, මෘදුකාංග ඉංජිනේරුවරයෙක්, මෝස්තර නිරූපණ ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක්. ඉතින් පසුගිය දිනෙක ප්‍රසිද්ධ පුවත්පත් මාධ්‍ය සාකච්ජාවක් සමඟ එක්වෙමින් ඔහු කළ කතාබහක් පිලිබඳ තතු ඔබවෙත ගෙන එන්නටයි අපේ සුදානම.

ඔහු මුලින්ම කතාකළේ මෝස්තර නිරූපණ කලාවට ඔහු සම්බන්ධ වුණු ආකාරය ගැනයි.“මගේ ගාව සුරතල් සුනඛයන් ඉන්නවා. මගේ නෑදෑ අයියා කෙනෙක්ගේ යාළුවෙක් සංදේශ් බණ්ඩාර. ඉතින් දවසක් මගේ ගාව ඉන්න සුරතලුන්ගේ ෆොටෝ ගන්න ගමන් මගේ ෆොටෝ ටිකකුත් ගන්නවා. ඒක තමා මගේ කියලා කරපු පළවෙනි ෆොටෝ ෂූට් එක. එතැනින් පස්සේ මට ඒ ගැන ආසාව වැඩි වුණා.”ඊට පස්සේ ඔහු රැකබලා ගන්න සුරතල් සුනඛයින් ගැනත් ඔහු සඳහන් කර තිබුණා.“සුනඛයින් 16ක් ඉන්නවා. American Bully කියන Breed එකෙන් බල්ලෝ 5ක් ඉන්නවා. ලංකාවේ ඉන්න හොඳම bullmastiff ලගෙන් එක්කෙනෙක් ඉන්නේ මං ළඟ තව German Shepherd, Labrador, Shih Tzu, pug වගේ වර්ග ඉන්නවා. ඒ අය එක්ක ඒ ගත කරන කාලය මගේ දින චර්යාවේම කොටසක්.”

දිනුක් කියන්නේ අභියෝග තුළින් ජීවිතේ ජයගත් කෙනෙක්. ඉතින් මේ විදියට සාර්ථකත්වයට ලඟා වෙන්නට ඔහුගේ ජීවන ගමනේ හැරවුම් ලක්ෂය පිළිබඳව ඔහු කිව්වේ මෙහෙම කතාවක්.“මගේ ජීවතේ හැරවුම් ලක්ෂ්‍යය දෙකක් තියෙනවා. එකක් විශ්වවිද්‍යාලයේ පළමු වසරේදී ලංකාවේම තියෙන රජයේ විශ්වවිද්‍යාල සියල්ලම එකතුවෙන් තරගයක් සංවිධාන කරනවා කැලණිය විශ්වවිද්‍යාලයෙන්. ඒක ෆැෂන් ෂෝ එකක්. එහිදී කඩවසම්ම තරුණයා සහ රූමත්ම තරුණිය තෝරනවා. විශ්වවිද්‍යාල සියල්ලේම කඩවසම් තරුණයා විදියට පළවෙනියා වෙන්න මට පුළුවන් වුණා. එතැනදී තමා මට ලංකාවේ හොඳම මොඩ්ලින් ඒජන්සි එක තියෙන බ්‍රයන්ව හඳුනා ගන්න ලැබෙන්නේ. එදා පටන් මේ වෙනකම් එයා යටතේ Brian Kerkoven Academy එකේ මෝස්‌තර නිරූපණ ශිල්පය හදාරනවා. විශ්වවිද්‍යාලයේ පළවෙනි අවුරුද්දෙ ඉඳන්ම මොඩ්ලින් කළා. ඒ අතරේ මියුසික් වීඩියෝවල රඟපාන්න අවස්ථාව ලැබුණා.”

ඊළඟට ඔහු කතා කළේ රංගන ශිල්පියෙක් වීම ගැනයි.“රංගනයට එන එක තමා මගේ ජීවතේ දෙවැනි හැරවුම් ලක්ෂ්‍යය. 2020 දෙරණ අවුරුදු කුමරා තරගයට මම ඉදිරිපත් වෙනවා. කොරෝනා වසංගතය නිසා තරගය පැවැත්වුණේ ඔන්ලයින් ක්‍රමවේදයකට. එතැනදී මට දෙවන ස්ථානය ලැබෙනවා. ඒ හරහා තමා පළවෙනි රංගන අවස්ථාව ලැබෙන්නේ දෙරණ නාළිකාවේ මිහි කියන නාට්‍යයේ ගිම්හාන චරිතය. ඊට පස්සෙත් මට දෙරණ නාළිකාවෙන්ම ආරාධනාවක් ලැබෙනවා රාවණා 3 ට සම්බන්ධ වෙන්න. එහි ප්‍රධාන චරිත අතරින් එකක් තමා මට ලැබිලා තියෙන්නේ එහි රූගත කිරීම් මෑතකදී පටන් ගනීවි. ඊට අමතරවත් තව ආරධනා දෙක තුනක් ලැබිලා තියෙනවා.”

රංගන ශිල්පියෙක් වගේම දිනුක කියන්නේ දක්ෂ ගුරුවරයෙක්. ඒ ගැන ඔහු මතක ආවර්ජනය කර තිබුණේ මේ විදියට.“උසස් පෙළ ඉවර වුණ ගමන් මුලින්ම උගන්වන්නේ මගේ හොඳම යාළුවෙක්ගේ මල්ලි කෙනෙක්ට. මොකද මම හරි ආසයි තවත් කෙනෙක්ට උගන්නන්න. ඊට පස්සේ මම ඉන්නේ දෙහිවල වුණාට ලංකාවේ හැම පැත්තකටම වගේ ගිහින් ඉගැන්වුවා. මම මේ හැමදේම කළේ සතුටින්.”රංගන ශිල්පියෙක් කියන්නේ කාර්යබහුල චරිතයක්. ඒ වගේම ගුරුවරයෙක්ට සෑමවිටම ශිෂ්‍යයන් වෙනුවෙන් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් දිනුක රංගන ශිල්පියෙක් වීම නිසා ගුරු වෘත්තීය අත්හරිනවාද යන පැනයට ඔහු දුන්නේ මෙවන් පිළිතුරක්.

“ගුරු වෘත්තියට මම හරි ආදරෙයි. ඒ නිසා මොන දේ කළත් ගුරුවෘත්තීය අතහරින්නේ නැහැ. ඒ වගේම තමා මගේ හීනයක් තිබ්බා කවදා හරි රංගනශිල්පියෙක් වෙන එක. ඒ නිසා රංගනය නිසා ගුරුවෘත්තියට වත් ගුරුවෘත්තීය නිසා රංගනයටවත් කවදාවත් බාධාවක් වෙන්න මම වැඩ කරන්නේ නැහැ.” කියලයි ඔහු අවසාන වශයෙන් කියා තිබුණේ.