Celebrity Gossip

ආක්ෂාගෙ චරිතෙට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රසිකයොන්ගෙන් කවදාවත් මට නරක කමෙන්ට් ඇවිල්ලා නැහැ- නෙත්මි රොෂෙල්

නෙත්මි රොෂෙල් රොජස් කියන්නේ රූපවාහිනි අවුරුදු කුමරිය තුළින් කලා ලෝකෙට පෑයූ නවක තාරකාවියක්. ඇය ගොඩක් ජනප්‍රිය වුණේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ආක්ෂා ලෙසින්.  මේ වෙනකොට ඇය සුපර්ණකා හා ආක්ෂා යන චරිත ද්විත්වය තුළින් රසික හදවත් වශී කරගන්න සමත් වෙලා තියෙනවා. දැනට ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ උසස් අධ්‍යාපනය හදාරනවා.  ඒවගේම ඇය පුංචි තිරයේ ආක්ෂා තරම්ම සැබෑ ජීවිතයේදීත් කටකාර, දඟකාර, සුරූපී තරුණියක්. ඉතින් පසුගිය දවසක ඇය පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙලා කතාබහ කරලා තිබුණේ මෙහෙමයි. 

මුලින්ම ඇය ඇය අවුරුදු කුමරිය වීම පිළිබඳව කතා කරල තිබුනෙ මෙහෙමයි. “ඇත්තටම අයැදුම්පත් දැම්මේ අපේ නංගි. ලොකුම ආසාව තිබ්බේ අපේ අම්මට. ඇත්තටම 2019 අවුරුදු කුමරියට අයදුම් කළේ අවසාන දින රාත්‍රියේදි. එතකොට මට අවුරුදු 19 ඉවරයි. ඒ වෙනකොට මම කැම්පසුත් යන නිසා අන්තිමට තාත්තාගෙ කැමැත්ත ලැබුණා. ඒ වෙද්දි කල්මදි වුණු නිසා අපි මේල් එකකින් තමයි අයැදුම් කළේ. කොහොම හරි අවසාන දවසේ අවසාන මොහොතේ රාත්‍රියේදි අයදුම් කළත් 2019 ජාතික රූපවාහිනි අවුරුදු කුමරිය වෙන්න මට හැකිවුණා.” 

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ඇගේ රංගනය ගැනත් ඇය මෙහිදී කතා කරලා තිබුණා. “දෙවෙනි ඉනිම මගෙ තුන්වැනි ටෙලි නාට්‍යයයි. සිරස සක්කාරං ටෙලි නාට්‍යය, රාවණ කියන ටෙලි නාට්‍යවල මං කලින් රඟපාලා තියෙනවා. දෙවෙනි ඉනිම ආක්ෂා චරිතයට ආරාධනා කළේ අධ්‍යක්ෂකත වන සාරංග මෙන්දිස් සහ අයියගෙ වයිෆ් චාමිකා මෙන්ඩිස් අක්කායි. දෙවෙනි ඉනිමට මම සම්බන්ධ වෙලා මේ නොවැම්බර්වලට අවුරුදු 2ක්. එදා වගේම තාමත් එක වගේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රොෂෙල්ටත් වඩා මට හැමෝම කතා කරන්නේ ආක්ෂා කියලයි. රසිකයන්ගෙන් නරක කමෙන්ට්ස් මට කවදාවත් ලැබිලා නැහැ. මට ගොඩක් අයගේ ආදරය ලැබෙනවා. ඒ ගැන හරිම සතුටුයි.”

ඇයගේ රංගන ජීවිතයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳවත් ඇය මෙහිදී කතා කරලා තිබුණා. “මගේ පළමු චිත්‍රපටය ආදරණීය ප්‍රාර්ථනා මේ අවුරුද්ද අගදි පෙන්වීමට නියමිතයි. එය වාසව බදුගේ අයියගේ අධ්‍යක්ෂණයක්. මගෙන් නොදැක්ක ගති ලක්ෂණයන් මෙහි පාරමී කියන මගේ චරිතය තුළින් දැක ගන්න ලැබේවි. මේ චිත්‍රපටය මගේ ජීවිතයේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් වේවි. ඇත්තටම එය ලස්සන වැඩක්. නුදුරේදීම එය රසිකයන්ට දැකබලා ගන්න ලැබේවි. මම ටිකක් තෝරා බේරාගෙන තමයි වැඩ කරන්නේ. තව එක් චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. කොරෝනා නිසා ඉදිරියේදි එහි වැඩ කොහොම සිදු වෙයිද දන්නේ නැහැ.”

ඇයගේ ආදර ජීවිතය පිළිබඳව ඇය කියලා තිබුණේ මෙහෙමයි. “ඇත්තටම පිරිමි පාර්ශ්වයෙන් හිමිවන ආකර්ෂණය නම් නොවැඩුවම ලැබෙනවා. මං නම් හිතන්නේ මං තාම එහෙම ආදරේකට සූදානම් නැහැ. මට තාම අවුරුදු 22යි. ඉතින් තාම ඒ පිළිබඳව තේරුමක් නැහැ. මට ඒ සඳහා තව අත්දැකීම් අවශ්‍යයි. දැනට අම්මා තාත්තාගේ ආදරය මට නොවැඩුව ලැබෙනවා. එනිසා හරිම කෙනා හරි වෙලාවට මා ළඟට එයි කියලා හිතනවා.” 

අවසාන වශයෙන් දැනට ඇය පැමිණි ගමනට සහයෝගය දුන් සියළුදෙනාටම ස්තූති කරල තිබුනෙ මෙහෙමයි. “මගෙ අම්මටයි, තාත්තාටයි විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයට එන්න පාර පෑදුණු ජාතික රූපවාහිනි නාළිකාවට ඇතුළු මාත් සමඟ වැඩ කළ සියලුම දෙනාටම වගේම සෑම තැනකදීම මටම සෙට් වෙන ජොලි සෙට් එකක් ඉන්නවා. ඒ අයවත් මතක් කරනවා. ගොඩක් ස්තූතියි.”  කියලයි ඇය අවසන් වශයෙන් කියලා තිබුණේ.