Celebrity Gossip

තරුණ රංගන ශිල්පීන්ව තළලා පෙළලා දාන්න සූදානම් ජ්‍යේෂ්ඨයින් තවමත් කලාව තුළ ඉන්නවා-ජෙහාන් අප්පුහාමි

කලාකරුවෙක්ට තෙත්වූ හිතක් තිබිය යුතුයි. තමන්ට ගෝචර වන සංවේදනයන් ප්‍රේක්‍ෂකයාට සියුම්ව සම්ප්‍රේෂණය කිරීමට සමතෙක් විය යුතුයි. එසේම පොළොවේ දූවිලි සුවඳ සිතූසේ හඳුනන අයෙකු විය යුතුයි. එකී සියලු සංකල්පයන්ගෙන් හෙබි ඔහු අපූරු කලාකරුවෙකි. සකර්ම, සිඳු යන ටෙලි නාට්‍යයවලින් ප්‍රේක්‍ෂකයන්ගේ සිත්හි ලැගුම්ගත් ඔහු ජෙහාන් අප්පුහාමි. ඔහු පසුගිය දවසක පුවත්පතක් සමඟ පිළිසඳරක යෙදිලා තිබුණේ මෙහෙමයි.

ඔහුගේ මේ දිනවල වැඩකටයුතු, Drama Magazine එක සහ “අසිරි හදවත” ව්‍යාපෘතිය​ සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ මෙයයි. මේ දවස්වල Drama Magazine එකේ වැඩකටයුතු කරමින් කාලය ගත කරනවා. රූගත කිරීම් සිදු නොවන නිසා තරමක් විවේකීව කාලය ගත කරනවා. Drama Magazine එක පටන් අරන් වසර දෙකහමාරකට ආසන්නයි. එය නිකුත් කරන්නේ මාස දෙකකට වරක්. මේ වන විට දහවෙනි කලාපයට අප සූදානම් වෙනවා. වේදිකා නාට්‍යය පිළිබඳ සම්පූර්ණ දැනුමක් එම සඟරාව තුළින් අප ලබාදෙනවා.

හත අට වසරවල පටන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ට දක්වා සියළු දරුවන්ට උචිත වන ආකාරයට එය නිර්මාණය කර තිබෙනවා. මේ වෙනකොට Drama Magazine එක හරහා නොමිලේ නාට්‍ය හා රංගකලාව උගන්වන්නත් අප කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඒ වගේම “අසිරි හදවත” ව්‍යාපෘතිය​ ගැන කිව්වොත් ඒක ලොකු එකමුතුවක්. එයට වෛද්‍ය​වරුන්, කලාකරුවන්, Union නායකයන් හා තරුණ තරුණියන් බොහොමයක් සම්බන්ධ වී සිටිනවා. ව්‍යස​නකාරී තත්වය තුළ නිවෙස්වල අසරණ වී සිටින අයට ආහාර සැපයීම, නිවෙස් තුළ නිරෝධායනය වූ අයට බෙහෙත්, ආහාරපාන ලබාදීම එහිදී සිදුවුණා. ඕනෑම කෙනෙකුට ඒ ව්‍යාපෘතිය​ට ස්වේච්ඡාවෙන් සහභාගී වෙන්න පුළුවන්.

කලාකරුවා හා ප්‍රේක්‍ෂකයා අතර ඇති බැඳීම සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ මෙයයි. කලාකරුවා හා ප්‍රේක්‍ෂකයා අතර ඇති බැඳීම තිරයට පමණක් සීමා නොවිය යුතුයි. නළුවෙක්ගේ කාර්යය රඟපාන එක විතරක්ම නෙවෙයි. තිරය පිටුපස සිට ප්‍රේක්‍ෂකයා පිනවීමේ කාර්යය වගේම ඊට එහා සමාජ වගකීමක් කලාකරුවා සතුයි. කලාකරුවෙක් වෙන්න පහසු වුණාට මිනිහෙක් වෙන එක අමාරු වැඩක්. එම නිසා පළමුවෙන්ම මනුස්සයෙක් විය යුතුයි. කලාකරුවා කියන්නේ ප්‍රේක්‍ෂකයන්ව පෝෂණය කරන්නෙක්. කලාකරුවා ප්‍රේක්‍ෂකයාට ලබාදෙන රසය අනුවයි ප්‍රේක්‍ෂක ආදරය ඔවුන්ට ලැබෙන්නේ. කලාකරුවා කියන්නේ යම් දැනුමක්, මතවාදයක්, Life Style එකක්, Trend එකක් හදන කෙනෙක්. ටෙලිවිෂනයේ දුටු පමණින් කලාකරුවෙක් වෙන්න බැහැ.

අපේ රටේ කතාවෙන සංස්කෘතිය, සදාචාරය අතීතයේ පැවතුණු දෙයක් මිස දැන් පවතින දෙයක් නෙමෙයි. එය පල්ලි, පන්සල්, කෝවිල්වලට පමණක් සීමා වූ දෙයක් පමණයි. අප බලාපොරොත්තුවෙන් සිටින සංස්කෘතික මිනිසා තවම අපේ රටේ නිර්මාණය වෙලා නැහැ.බොහෝ කතා බහට ලක්වූ බොරලු පාර නාට්‍යයේ ජයලාල් රෝහණගෙන් ලැබුණු කනේ පහර සිද්ධිය සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ මෙයයි. ඒක දරුණ පහරක්. ඒ සීන් එකෙන් පස්සේ මට සැරින් සැරේ නින්ද යන්න පටන් ගත්තා. ඉන්පසුව ඉස්පිරිතාලේ ඇඩ්මිට් වුණා. CT Scan එකක් කරා. එය කිසිසේත්ම හොඳ දෙයක් නෙමෙයි. ජ්‍යේෂ්ඨයින් අපට සලකන විදිය එයින් මැනිය හැකියි. තරුණ රංගන ශිල්පීන්ව තළලා පෙළලා දාන්න සූදානම් ජ්‍යේෂ්ඨයින් තවමත් කලාව තුළ ඉන්නවා. ඒ සිද්ධිය රූගත කිරීම් කරන විට කතාබහ කරලා තාත්විකව කිරීමට හැකියාව තිබුණා. නමුත් එහෙම දරුණ පහරක් එල්ල කළේ කුමන පරමාර්ථයෙන්ද කියලා මට තවම හිතාගන්න බැහැ.