Celebrity Gossip

තව කෙනෙක්ට පිහිටවීම කියන හොඳ ගුණය මාලන්ට වගේම මටත් උපරිමෙන්ම පිහිටලා තියෙනවා-කෝකිල පවන් ජයසුරිය

කෝකිල පවන් ජයසුරිය තාරුණ්‍යයේ මේ අපූරු රංගන ශිල්පියාගේ සැබෑ නාමය එය වුවද අද මුළු ශ්‍රී ලංකාවම ඔහුට ආදරය කරන්නේ නාඩගම්කාරයෝ නාට්‍යයේ ‘මාලන්’ගේ චරිතය නිසයි. ඒ නාට්‍යයේ ‘සරා’ නම් ඔහුට කතා කරන්නේ මනමාලන් කියලයි. මාලන්ගේ චරිතයට අපූරු ජීවිතයක් කවන මේ සැබෑ දක්‍ෂයා සමග පහුගිය දවසක පුවත්පතක් මේ විදියට කතාබහකට එකතු වෙලා තිබුණා.

කෝකිල අද මේ විදියට වඩාත් කාර්‍යබහුල වෙලා ඉන්නත් මේ ආපු ගමන ගැනත් අතීතයේ ඔහුගේ තිබුණු අරමුණු ගැනත් මේ විදියට කියලා තිබුණා. “මේක හරිම හෙමින් ආපු ගමනක්. ඒ වගේම ඒ කාලේ ඉදලම රංගනයට කලාවට අවශ්‍ය දේ එකතුකර කර ගනිමින් සිටියා. ඒ වගේම මට දැනෙන විදියට මම හොඳ පැත්තකට වැටුන ගිරවා වගේ කියලයි මට හිතෙන්නේ. ලංකාවේ මම වැටුණේ හොඳ මුල් තියෙන ප්‍රවීනයන් ළඟට. ඒ පන්නරය ලබමින් ආපු ගමනක් මේක. තවත් බොහෝ දේ එක්කාසු කර ගනිමින් යන ගමනක් මේක.”

ඔහුගේ කැමැත්ත තිබුණේ කවුරු වීමටද කියලා ඔහු මෙහෙම කියලා තිබුණා. “ගායකයෙක් වීමේ ආසාව  තමයි තිබුණේ. කෝකිල යන නම ඊට සමීපතම කාරණයක් වුනා. ඒ වගේම කුඩා කාලේ ඉඳලම පාලි, ජන ගී ඇතුළු කවි ගායනයෙන් තරඟ වලට පවා ඉදිරිපත් වුණේ ඒ නිසයි. පාසල් ගමන ඇරඹීමට පෙර සිටම දහම් පාසලට සමීපව සිටි කෙනෙක්. කලාව වෙතින් පෝෂණය විය යුතුයි, ආභාෂය ලැබිය යුතුයි කියන දේ මගේ ආත්මයෙන් දැනුණු දෙයක්. මගේ ආච්චියි සීයයි මාව ඒ වෙනුවෙන් වඩාත් යොමු කළා.”

කෝකිල සහ මාලන් අතර ඇති සමානකම් හැටියට ඔහු දකින්නේ මොනවාද කියලා මෙහෙම කියලා තිබුණා. “සමාජයේ ඕනෑම කෙනෙකුට තවත් කෙනෙකුගෙන් ගත හැකි මොනයම් හෝ දෙයක් ඇති. මේ චරිතයේදී මම සහ මාලන් ගත්තොත් මාලන් තරමට මම නම් පොසිටිව් නැහැ. ඒ කියන්නේ ධනාත්මක නැහැ. කෝකිල තමන් ගැන විශ්වාසයකින් නොවූවත් මාලන් තමන් ගැන අධි විශ්වාසයකින් ඉන්නේ. සමානකම් විදියට ගත්තොත් මාලන් සහ කෝකිල කියන්නේ මිනිස්සුන්ට ගරු කරන දෙන්නෙක්. ඒ වගේම තමයි පිහිටවීම කියන දේ. මනුස්සයින්ගෙන් ඈත් වෙලා යන ඒ ගුණය මාලන්ට වගේම කෝකිලටත් තියෙනවා. ඒ වගේම මේ දෙන්නම සමානාත්මතාවය අගයනවා.”

මාලන් දකිද්දී ප්‍රේක්‍ෂකයෙක් හැටියට කෝකිලට දැනෙන හැඟීම් පිළිබඳව මෙහෙම කියලා තිබුණා. “රටක් ඇතුලේ හෝ ගමක් ඇතුලේ ඇයි තරුනයින්ට එහෙම වෙන්නේ? ඇයි තරුණයා අනාථ වෙන්නේ? මාලන් අනාථ වෙලා ඉන්නේ. සරා අනාථ වෙලා ඉන්නේ. කවඩියා අනාථ වෙලා ඉන්නෙ. ඇයි? මොකක්ද ප්‍රශ්නෙ? සමාජීයවද දේශපාලන හෝ ආර්ථික හෝ ආගමික වශයෙන්ද? අන්න ඒ ප්‍රශ්නය නාඩගම්කාරයෝ හරහා මම දකින දෙයක්. මතක තියාගන්න මේ නාඩගම්කාර්‍යෝ හරහා සමාජගත සමාජගත කරන්නේ හාස්‍යයක්ම නෙවෙයි.”

‘සරා’ වූ සජිත් සහ ඔහු අතර තියෙන යාලුකම ගැනත් මෙහිදී කියලා තිබුණා. “සජිත කියන්නේ මට හරියටම මගේ සහෝදරයෙක් වගේ. ලංකාවේ ඉතාම ප්‍රතාපවත්, මල්ටි ටැලන්ටඩ් චරිතයක් වන ඔහුට  ජනප්‍රියම නළුවා සම්මානය ලැබීම ගැන මම හරිම සතුටු වෙනවා. හදවතින්මයි මම ඒක කියන්නේ. ඒ ජනප්‍රියම නළුවා නිර්දේශයට මගේ නමත්, සංගීත් ප්‍රභූගේ නමත් තිබුනා. ඒත් මට ලැබුණට වඩා සජිතට එය ලැබීම ගැන මට දැනුණේ ලොකු සතුටක්.”

කෝකිලගේ සැබෑ ජීවිතය ගැනත් තොරතුරු කියලා තිබුණා. “මේ ලෝකයේ විශ්වාසය, බලාපොරොත්තු සහ ප්‍රේමය කියලා දෙයක් තිබේ නම් ඒ තමයි ජීවිතය. මම විවාහ වෙලා තවම අවුරුද්දක්වත් නැහැ. තවම කුළුදුල් මනමාලයෙක්. අලුත් ජීවිතයට තවමත් හුරුවෙමින් ඉන්නේ. මේ මොනදේ උනත් මොන තරම් ජනප්‍රිය වුණත් මම මගේ සරලකම කවදාවත් නැති කර ගන්නේ නැහැ. පොළොවෙ පය ගහල ඉන්න මම හරි ආසයි. ජීවිතේ උඩට යන්න ඕන සරලකම සහ දක්‍ෂතාවයෙන් කියලයි මම විශ්වාස කරන්නේ.” කියලයි ඔහු අවසාන වශයෙන් කියලා තිබුනේ.