Celebrity Gossip

එකම බලාපොරොත්තුව රට වෙනුවෙන් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන එක- චලෝ නාට්‍යයේ රඟපාන ශානිකා කියන කතාව​

ජීවිතේ කියන්නේ හරිම අවිනිශ්චිත දෙයක්. ඒ නිසා ඕනෑම දෙයක් ආරම්භයේදී කිසිම කෙනෙක්ට කියන්න බැහැ ඊළඟ පියවර ගැන. හැබැයි අපි එය අත්නොහැර කටයුතු කළොත් ඉලක්ක අරමුණු කරා ලඟා වෙලා ජයග්‍රහණය ලබා ගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් ජයග්‍රහණය තමන්ගේ කරගෙන රට දිනවන්න සිහින දකින සුන්දර යුවතියක් වන චලෝ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් සමීපයට එන ශානිකා, ලාංකීය ඩිජිටල් සඟරාව ‘රැල්ල’ සමඟ එක්වෙමින් කළ කතාබහක් පිලිබඳ විස්තර ඔබ වෙත දෙන එන්නටයි අපේ සුදානම්.

මුලින්ම ශානිකා කිව්වේ මේ දවස්වල ඇගේ ජීවිතේ ගලාගෙන යන ආකාරය ගැනයි. “ මේ දවස්වල හොඳින් ඉන්නවා. රටේ තියෙන කොවිඩ් තත්වයත් එක්ක ඉස්සර තරම් පුහුණුවීම් වලට සම්බන්ධ වෙන්න විදියක් නැහැ. ඒ වුණත් මම පුළුවන් විදියට මගේ පුහුණුවීම කටයුතු තනිවම කරගෙන යනවා. ඒ අතරතුර චලෝ රූගත කිරීම් වලටත් සම්බන්ධ වෙනවා.”ඊළඟට ඇය තමන් ගැන විස්තර කරේ මේ විදියටයි. “ මම ශානිකා හෙට්ටිආරච්චි. ගොඩක් අය මට කතා කරන්නේ ශානු කියලා. පාසලේදී යාළුවෝ දාපු නම ඒක. පස්සේ ගොඩක් තැන්වල ඒක භාවිතා කළා. මට අවුරුදු 21යි. මගේ ජීවිතේ මුල්තැන තියෙන්නේ පාපන්දු වලට. මම දැන් උතුරුමැද පළාත් පාපන්දු කණ්ඩායම නියෝජනය කරනවා.”

ක්‍රීඩිකාවක් විදියට පාපන්දු ක්‍රීඩාවේ වත්මන් තත්වය ගැනත් ඇය කතා කළා. “ මම තවම ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවක් නෙවෙයි. මම දකින විදියට ක්‍රීඩකයන්ට තියෙන වුවමානව වගේම බලධාරීනුත් ක්‍රීඩාවට ආදරය කරන්න ඕන. මම දන්න බොහෝ ක්‍රීඩකයන් මේ ක්‍රීඩාවට ගොඩක් ආදරය කරන අය. ඉතින් එයාලට හැම පැත්තෙන්ම සහයෝගය ලැබුණොත් ශ්‍රී ලංකාව ලෝකයේ පාපන්දු වලින් ඉහලම තැනකට ගෙන යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා” කියලයි ඇය නම් කියන්නේ.

පාපන්දු කියන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක්. ඉතින් කවදා හෝ දවසක අපේ පුංචි ලංකාවටත් පාපන්දු ලෝක කුසලානයක සිහින දකින්න පුළුවන් වේවිද යන පැනයට ඇය අදහස් දක්වා තිබුණේ මෙහෙමයි. “ අනිවාර්යයෙන් පුළුවන්. ලෝකයේ අනිත් රටවල් වල තරම් තාක්ෂණික පහසුකම් අපිට නැති වුණත් තියෙන පහසුකම් වලින් හොඳ ප්‍රයෝජනයක් අරගෙන සහ ඉතා දක්ෂ ක්‍රීඩකයන් තෝරාගෙන හොඳ කණ්ඩායමක් හදාගත්තොත් මම හිතනවා කවදා හරි ලෝක කුසලාන සිහිනයක් වෙනුවෙන් තරඟ කරන්න පුළුවන් වෙයි කියලා. මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා රටක් වශයෙන් අපිට ඒ සිහිනය සැබෑ කරගන්න ලැබේවා කියලා.”

ක්‍රීඩාවත් එක්ක එදිනෙදා ජීවිතේ කටයුතු සහ රංගන කටයුතු කළමනාකරණය කරගන්නා ආකාරය ගැනත් ඇය කිව්වේ මෙහෙමයි. “ රූගත කිරීම් හැමදාම නැහැ. ඒ දවස්වලට තනියෙන් කරන්න පුළුවන් පුහුණුවීම් මම තනියෙන් කරනවා. මම ලංකාවේ තියෙන කාන්තා ක්‍රීඩා සමාජයක් එක්කත් සම්බන්ධ වෙලා පුහුණුවීම් කරන්නත් ආසාවෙන් ඉන්නේ. මොකද ජාතික කණ්ඩායමකට සම්බන්ධ වෙන්න නම් ඒ වගේ තැනක පුහුණුවක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. රූගත කිරීම් නිසා මම පුහුණුවීම් කිසිවිටෙකත් මඟ හැරගන්නේ නැහැ.”

ඉතින් අවසාන වශයෙන් ශානිකා ඇගේ ජීවිතේ බලාපොරොත්තු, ඉලක්ක ගැනත් කතා කළා. “ මගේ ජිවිතේ ඉලක්ක, බලාපොරොත්තු  ගැන කිව්වොත් ක්‍රීඩාව පටන් ගත්ත දවසේ ඉඳලා තියෙන ලොකුම සහ එකම බලාපොරොත්තු ව රට වෙනුවෙන් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන එක. මගේ අනාගතය කියලා මම දකින්නේ පාපන්දු ක්‍රීඩාව. ඊට අමතරව මම කැමති රැකියාවක් කරනවා නම් ක්‍රීඩාවට සම්බන්ධ දෙයක් කරන්න. ඒ අතරතුර මගේ උපාධි වැඩකටයුතුත් සමබරව කරගෙන යන එක තමා දැනට තියෙන බලාපොරොත්තුව.”කියලයි ඇය අවසාන වශයෙන් කියා තිබුනේ.