Celebrity Gossip

යොහානිට වඩා දක්ෂ අයට ජාත්‍යන්තරයට යන්න බැරි බැරි වුණා කියලා ඒ ළමයට කුහකකම් කරලා වැඩක් නෑ-අමල් පෙරේරා

කලාකරුවෙක්ගේ කලාවක් රසවිඳිනකොට දැනෙන උදේ‍යාගය සහ සතුට ඒ කලාකරුවා සමඟ සම්මුඛ වීමේදීත්, කතාබහ කරද්දීත් දැනෙනවා කියන එක හරි දුර්ලභයි. මොකද බහුතරයක් කලාකරුවන්ගේ ආර්ට් පීස් ආකර්‍ෂණීය වුණාට අදහස්, මතවාද උදාසීනයි. එහෙම දුර්ලභ බවක් තියෙන කලාකරුවෙක් තමයි අමල් පෙරේරා කියන්නේ.  කළුත් නැති, සුදුත් නැති තමන් අළුයි කියලා ප්‍රසිද්ධියේ මාධ්‍යවලට කියන අමල් පසුගිය දවසක පුවත්පතක් සමඟ මේ විදියට කතාබහකට එකතු වෙලා තිබුනා.

පවතින වසංගතය හමුවේ කලාකරුවන්ගේ ආර්ථිකය විනාසයි යන ජනප්‍රිය ප්‍රශ්නය ඔහු අර්ථකථනය කරන ආකාරය මෙහෙම කියලා තිබුනා. “මේක කලාකරුවන්ට විතරක් නෙවෙයි හැමෝටම අමාරු කාලයක්. හැමෝම ඒකට මුහුණ දෙන්න ඕන. කලාකරුවන්ට වඩා පහළ ආදායම් මට්ටමක් තියෙන මිනිස්සු ඕන තරම් මේ රටේ ඉන්නවා. එහෙම තත්ත්වයකදී කලාකරුවො අපිට වැඩ නැහැ කිය කිය විවේචන කරලා හරියන්නේ නැහැ. කලා කටයුතු වැඩිපුර තිබ්බ කාලේ වැඩිපුර මුදල් ලැබුණා තමයි. දැන් වැඩ අඩුවීමත් එක්ක සල්ලි මදි කියන එකත් ඇත්ත තමයි. ඒත් අපි වැඩ කරපු කාලෙ කීයක් හරි ඉතුරු කරගන්න දැනගෙන ඉන්න ඕනේ. මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් මට්ටමක් හැම කෙනෙක්ම ගොඩනඟාගෙන තියෙන්න ඕන.”

සමාජ ජාලා තුළ reach වැඩිම ගායකයෙක් විදිහට ෆේස්බුක් රීච් යන කාරණය කලාකරුවකුගේ ජනප්‍රියත්වය උදෙසා කරන බලපෑම විස්තර ඔහු විස්‍තර කරලා තිබුනේ මෙහෙමයි. “කවුරුහරි කෙනෙක් කියනව නම් මට ෆේස්බුක් එකේ ලොකු reach එකක් තියෙනවා කියලා මම කියන්නේ ඔවුන්ගෙන් බහුතරය මට නරක දේවල් සිද්ධ වෙච්ච කාලේ මගේ එකවුන්ට් එකට ආපු අය. ඒ කාලේ මගේ ගැන ගොසිප් බලන්න ආපු අය. ඒ කාලේ මගේ එකවුන්ට් එකට ඇවිල්ලා බැනලා කමෙන්ට් කරන්න ආපු අය. මම හිතන්නේ ඔවුන් ටික කාලයක් යද්දී මගේ ෆෑන්ස්ලා බවට පත් වුණා. මම කියන්නේ අපේ පේජ්වල ඉන්නේ ඇත්තටම අපිට කැමැති අය නොවෙන්න පුළුවන්. සමහරවිට ඕපාදූප හොයන අය වෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ෆේස්බුක් රීච් කියන කාරණාවේදී ලොකු බලාපොරොත්තු තියාගෙන තමන් පොර කියලා හිතාගෙන ඉන්න ඕනේ නෑ. මම නම් කොහොමත් ඒක ලොකුවට ඔළුවට ගන්නේ නෑ.”

රියැලිටි තරග ස්ක්‍රිප්ට් එකකට දුවනවා යැයි ප්‍රේක්‍ෂක මට්ටමින් එල්ලවන චෝදනා කොතරම් දුරට සාධාරණයිදැයි යන්න ඔහුගේ අදහස වුනේ මෙයයි. “කොහොමත් රියැලිටි ෂෝ කරන්නේ කිසියම් ස්ක්‍රිප්ට් එකකට තමයි. ඕනම රියැලිටි ෂෝ එකක ස්ක්‍රිප්ට් එකට දුවන තැන් තියෙනවා. සමහර තැන්වල ස්ක්‍රිප්ට් එකට අනුව හයිප් එකට ගේනවා. හැබැයි අපි දෙන ඔය comments  වගේ දේවල් නම් ස්ක්‍රිප්ට් එකට නෙමෙයි යන්නේ. ඒවා ස්වාභාවිකවම ඒ වෙලාවට එන දේවල්. විවිධ වේදිකාවල මම වැඩ කළා සහ වැඩ කරමින් ඉන්නවා. කිසිම තැනකදි තරගකරුවන් තෝරා ගැනීමේදී නම් අපිට ස්ක්‍රිප්ට් එකක් අතට ලැබුණේ නෑ. එහෙම තෝරා ගැනීමක් කරනකොට ස්ක්‍රිප්ට් ඕනෙ නම් අපි වගේ මිනිස්සු මෙතැනට ගන්න ඕනෙත් නෑ. ඔය ගම්වලින් ආවම ගමේකම මාකට් කරන කෑලි දුක මාකට් කරන කෑලි වගේ දේවල් විතරයි ස්ක්‍රිප්ට් විදිහට තියෙන්නේ.”

මෙරට බොහෝ කලාකරුවන් කංසා හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ පදනම විස්තර කරලා තිබුනේ මෙහෙමයි. “මත්ද්‍රව්‍ය සහ කලාව අතර තියෙන සම්බන්ධය මේකයි. කංසා හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන කෙනෙක්ට නිර්මාණකරණ හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් නිර්මාණ කරමින් ඉන්න කෙනෙක් කංසා පාවිච්චි කරනකොට සමහර විට ඔහුට කරන දේ වඩාත් හොඳින් කරන්න පුළුවන් වෙනවා වෙන්න පුළුවන්. සමහර විට නිර්මාණකරණයට වඩාත් ආසන්න වෙන්න ඉන් උත්තේජනයක් ලැබෙන්න පුළුවන්. කොහොමත් ඒ හරහා වයිබ් එකේ චේන්ජ් එකක් වුණාම එතැනින් පස්සේ කලාකරුවො විවිධ හැඩතලවලට යනවා.”

මෙරට කලාකරුවෙක්ට ජාත්‍යන්තර වේදිකාව ජයගන්න තියෙන සීමාවන් ගැන ඔහු මෙහෙම කියලා තිබුනා. “මම කියන්නේ එන්නේ ජාත්‍යන්තරයට යන්නත් වාසනා ගුණයක් තියෙන්න ඕන. ගොඩක් කලාකරුවෝ වගේම  ඕකට උත්සාහ කළා. හැබැයි යන්න පුළුවන් වුණේ නෑ. යොහානිගෙ තිබ්බ වාසනාවකට අමිතාබ් බච්චන්  ඒ ගීතය ඇහුවා. ඉතින් ඇයට පුළුවන් වුණා ඒ පාර විවෘත කරගන්න. ලංකාවේ බහුතරයකට ජාත්‍යන්තරයට යන්න බැරි ප්‍රශ්නය වෙන්නේ දක්ෂතාව නැතිකම නෙමෙයි. වාසනාව නැතිකම. හැබැයි එහෙමයි  කියලා යොහානිට වඩා දක්ෂ අයට ජාත්‍යන්තරයට යන්න බැරි වුණාම ඒ ළමයට කුහකකම් කරලා වැඩක් නෑ. අපි ඇයව අගය කරන්න ඕන. රටක් විදිහට සතුටු වෙන්න ඕන” කියලයි ඔහු අවසාන වශයෙන් කියලා තිබුනේ.