Celebrity Gossip

මගේ පවට තමයි මේ ළමයා ලැබුනේ කියලා කියපු කෙනාට මම අද ස්තූති කරනවා​​-බ්‍රයන් කිංග්ස්ටන්ගේ මව සංවේදීව කියූ කතාව​

ලෝකය දකින්න ඇස් දෙකක් නොතිබුණත් හීන දකින්නත් ජීවිතේ දකින්නත් තිබුණු හිතේ හයියෙන් මිලියන 20ක උත්සාහය කියන පාඩමේ අප්ඩේට් වර්ෂන් එක අපිට කියලා දීපු බ්‍රයන්. හැමදේම තිබිලත් නැහැ කියලා හිතන නැති දේවල් නිසා ජීවිතේම අත්හරින මිනිසුන්ට ඊයේ සිරස ලක්ෂපති හරහා අලුත් පාඩමක් කියලා දුන්නා. ඒ තමයි මට්ටක්කුලියේ බ්‍රයන් කිංස්ටන් නැමැති තරුණයා. ඉතින් අපි අද සුදානම් වන්නේ බ්‍රයන්ගේ මව ඔහුගේ ජීවිත කතාව පිළිබඳව කළ හෙළිදරව්ව ඔබ වෙත ගෙන එන්නටයි.

රත්මලාන අන්ධ විද්‍යාලයේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ අපොස සා/පෙළ විභාගයෙන් A සමර්ථ 9ක් ලැබූ පළමු ශිෂ්‍යයා සහ විද්‍යා විෂයට A සමර්ථ ලැබූ පළමු ශිෂ්‍යයා ලෙස බ්‍රයන් ඉතිහාසයට එකතු වෙනවා. ප්‍රශ්න වලට උත්තරත් උත්තර වලට තෑගිත් බෙදනවා වෙනුවට සිරස ලක්ෂපතිය මිනිස්සු වැළඳ ගන්නේ දැනුමෙන් ලෝකය බෙදන මහා පුස්තකාලයක් විදියටයි. හොට් සිට් එක දැනුම බෙදනවා වෙනුවට ජීවිතයත් බෙදලා දුන්නා. හැම ගෙදරකම සති අන්තයට පුරුදු විදියට බලපු , කියවපු ලක්ෂපතිය පසුගිය සතියේ වැඩසටහන​ ගොඩක් වෙනස් තැනකට අරන් ගියේ මට්ටක්කුලියේ බ්‍රයන් කිංග්ස්ටන් විසින්.

බ්‍රයන්ගේ ජීවිතේ අම්මාටත් අම්මාගේ ජීවිතේ බ්‍රයන්ටත් දෙකක් නෙවෙයි. එකටම ලියපු, එකටම ඇවිදන් ආපු, එකම කතාවක්. බ්‍රයන් ලෝකය නොදැක්කත් ලෝකය දකින හැමෝටම හීන දකින්නේ කොහොමද කියලත්, හීන පස්සේ දුවන්නේ කොහොමද කියලත්, ජීවිතේ දිනන්නේ කොහොමද කියලත් කියලා දීපු බ්‍රයන් ලක්ෂපතියේ කොපමණ දුරක් යාවිද කියලා තවත් සතියකින් අපිට දැකගන්න ලැබේවි.

ඉතින් බ්‍රයන් ගැන ඔහුගේ මෑණියන් හඬ අවදි කරලා තිබුනේ මේ විදියටයි. “ බ්‍රයන් මගේ දෙවෙනි පුතා. එයා මාස 7න් ඉපදුණේ. අඩු මාසෙන් ඉපදුණු නිසා දැඩි සත්කාර ඒකකයට දැම්මා. ස්නායු හරියට හදන්න කියලා නොයෙකුත් දේවල් එහිදී කළා. මට ඒ හැටි තේරුණේ නෑ. එක ඇහැක ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. ලේසර් කරනවා කිව්වා. එක දවසක් පුතාට අදාළව මගේ ළඟ තිබුණු සියලු ලේඛණ ෆයිල් එක පිටින්ම රෝහලෙන් ගත්තා. ඊට පස්සේ දරුවා මගේ අතට දීලා අනිත් ඇසත් පෙන්නේ නැහැ කිව්වා. ඒක අහපු ගමන් මට මොනවා වුනාද කියලා මට මතක නැහැ. අදටත් ඒ ෆයිල් එක මගේ ළඟ නැහැ. මම පුතාව තුරුළු කරන ගෙදර ආවා.

හොඳට ඇඩුවා. එවේලේ මගේ නෑදෑ කෙනෙක් දුරකථනයෙන් කතා කළා. ඔයාගේ හිතේ තියෙන නරකකමට තමයි ඔහොම ළමයෙක් ලැබුණේ කියලා කිව්වා. ඒ නෑදෑයට මම අද ස්තුති කරනවා ඒ වචනෙට. මම හිතට ගත්තා මගේ දරුවාව මං හොඳටම හදලා පෙන්වනවා කියලා. එදා ඉඳලා හැමදාම මං එයාගේ ඔලුව අත ගගා කිව්වේ මගේ පුතා හොඳට ඉගෙන ගන්න ඕන කියලා. කොළඹ සාමාන්‍ය දරුවෝ යන ස්කෝලවලට දන්නා හැදුවා. මෙයාට අවුරුදු 6 වෙද්දී රත්මලාන අන්ධ විද්‍යාලය ගැන මට දැනගන්න ලැබුණා. ඒකෙ පෙර පාසලට තමයි මුලින්ම ඇතුළත් කරගත්තේ. ඊට පස්සේ මම ස්කෝලෙට කතා කරලා පුතාව අවුරුදු 7 දී තුන ශ්‍රේණියේ විභාගයට පෙනී ඉන්න සැලැස්සුවා. පුතා හොඳටම සමත් වුන නිසා 3 ශ්‍රේණියට ඇතුළත් කරා. පුතා 5 ශ්‍රේණියේ විභාගයන් ලකුණු 155ක් ගත්තා.

මම පොඩි කාලේ ඉඳලා කොහේ හරි එක්ක ගියොත් හැමෝම එයා දිහා බලනවා. ඇස් දෙකට මොකද වුණේ ඇයි පෙන්නේ නැත්තේ කියලා අහනවා. ඒත් මම කොහේ ගියත් මෙයාව තනියම දාලා ගියේ නැහැ. ළමා උයනකට එක්කගෙන ගියාම අනිත් හැමෝම එයා දිහා බලනවා. ඒත් මම මෙයාව ළමා උයනේ තියෙන හැම සෙල්ලමකටම දැම්මා. අතින් අල්ලාගෙන සෙල්ලම් කෙරෙව්වා. අපි දෙමළ ක්‍රිස්තියානි අය, ඉතින් නත්තලට බඩු ගන්න පිට කොටුවේ මහා සෙනඟ ගොඩේ ඇවිදගෙන යද්දී මම එයාව ඒ අතරින් අරන් ගියා. මට තේරුනේ හැම සුවඳක්ම එයාට දැනෙන්න ඕන කියලා.

ළමයි ඩෙස් උඩින් පනිද්දී බිම අස් කරලා මගේ පුතාව ඩෙස් වලින් පනින්න මම ඉඩ දුන්නා. මම කිව්වේ පුතා ඔයත් පනින්න, හැබැයි අම්මට කියලා පනින්න කියලා විතරයි. ඇස් නොපෙනෙන අනිත් ළමයි වගේ මෙයත් මුලදී ඇවිදින්න බය වුණා. මම එයාව අතින් අල්ලාගෙන පිට්ටනිය වටේ දුවමින් තනියම දුවන්න පුරුදු කළා. ඈතින් තියලා අත්පුඩි ගහලා මම ඉන්න තැන තනියම දුවගෙන එන්න හුරු කළා. ස්කොලේ හැම ක්‍රීඩාවකටම ඉදිරිපත් කළා. මෙයා ගොඩක් මහන්සි වෙලා පාඩම් කළා. විශිෂ්ට සමාර්ථ විෂයන් 9ටම ගත්තා. මම දන්න විදියට රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි සාමාන්‍ය පෙළ A9ක් ගත්තේ. මට අද ආඩම්බරයි ඒ ගැන.” ඒ තමයි බ්‍රයන් ගැන ඔහුගේ ආදරණීය මෑණියන් හැඩු කඳුලින් හෙළි කළ කතාව.