Celebrity Gossip latest articles

මෙච්චර කාලයක් මගේ බිරිඳ දරාසිටි බර දැන් මට පුළුවන් මගේ කරට ගන්න​- සය නිවුන් දරුවන්ගේ පියා මුල්වරට මාධ්‍යයට කියූ කතාව​

මෙරට පළමු සය නිවුන් දරු උපත අද කොළඹ පෞද්ගලික රෝහලකදී වාර්තා වුණා. මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු සිසේරියන් සැත්කම හරහා මෙම දරු උපත සිදුවුණේ ඊයේ දින අලුයම 12.16 – 12.18 ත් කාලය තුළදී. මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැණු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙක්. බිලිඳුන් හය දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. කොළඹ අංගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දිලිනි වාසනා දයානන්ද සහ තිස් පස් හැවිරිදි ප්‍රභාත් උදයංග මෙම දරුවන්ගේ දෙමව්පියන්. ප්‍රභාත් උදයංග වෘත්තියෙන් යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වන අතර දිලිනි වාසනා කොළඹ පෞද්ගලික තොරතුරු තාක්ෂණික සමාගමක විධායක ශ්‍රේණියේ තනතුරක් දරනවා. ඔවුන් IDH ප්‍රදේශයේ කුලී නිවසක වාසය කරනවා.

මේ අතර දරුවන්ගේ පියා මේ සතුටුදායක අවස්ථාවේ මාධ්‍ය අමතමින් මෙසේ කියා තිබුණා. “ මගේ ගම වව්නියාව. මගේ තාත්තා කළේ ගොවිතැන. අම්මා රස්සාවක් කළේ නැහැ. හැබැයි ඒගොල්ලෝ දහඩිය මහන්සියෙන් මටත් අක්කාටත් ඉගැන්නුවා. මම සියලු අධ්‍යාපන කටයුතු කරගත්තේ අනුරාධපුර පාසලෙන්. හැබැයි මම පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වෙලා ඉංජිනේරුවෙක් වුණා.

මේක හරිම සතුටුදායක අවස්ථාවක්. අපි විවාහ වුණේ මීට වසර දෙකකට පෙරයි. අපි දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටියා. එකවර දරුවන් හය දෙනෙක් ලැබෙන්නට යන බව දැනගත් විට සතුටක් දැනුණත් යම් තිගැස්මකුත් ඇති වුණා. ලංකාවේ මීට පෙර නිවුන් දරුවන් බිහිවී නොමැති බව දැනගත්තේ වෛද්‍ය ටිරාන් ඩයස් මහතා හමුවීමෙන් පසුයි.

ටිරාන් ඩයස් මහතා අපට නිරන්තරයෙන්ම අවශ්‍ය උපදෙස් ලබා දෙමින් දරුවන්ගේත් මවගේත් ආරක්ෂාව තහවුරු කළා. දරු ප්‍රසුතිය සඳහා වෛද්‍ය උපදෙස් අනුව බිරිඳ සතියකට පෙර රෝහලට ඇතුළත් කළා. ඒ කාලයේ රෝහල් වෛද්‍යවරුන් කාර්ය මණ්ඩලය ඇය තුළ විශ්වාසයක් ගොඩ නගමින් දරු ප්‍රසුතිය වෙනුවෙන් සුදානම් කළා. රෝහල අපි වෙනුවෙන්ම උපකරණ ඇතුළු යම් යම් දේවල් සුදානම් කළා. එම කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා.

දරුවන් බිහිකරන අවස්ථාවේ මට බිරිඳ අසලම ඉන්න ලැබුණා. ඒ වගේම සැත්කමට පැයකට පසු දරුවන් බලන්නත් බිරිඳ සමඟ කතා කරන්නත් අවස්ථාව ලැබුණා. බලාපොරොත්තුවෙන් හිටියේ එක දරුවෙක් විතරයි. එක්කෙනෙක් වෙනුවට දැන් අපිට හය දෙනෙක් ඉන්නවා. සති 31ක් තිස්සේ මගේ බිරිඳ දරාසිටි බර අද මගේ උර මත තියෙනවා. මට අවශ්‍ය මගේ දරුවන් රටට යහපත් පුරවැසියන් කරන්නයි. ඒ සඳහා මම උපරිමයෙන් කැප වෙනවා.

1 මේ වෛද්‍යවරුන් මට දෙවිවරුන් වගෙයි. ඒ වගේම අපිට උදව් කළ අපේ පවුල්වල ඥාතීන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. ” ඒ කුළුඳුලේ දරුවන් හය දෙනෙකුගේ පියෙක් වුණු ආදරණීය තාත්තාගේ හඬයි.ඒ වගේම මාධ්‍ය හමුවට සහභාගී වූ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතා පැවසුවේ මෙම සැත්කම සඳහා වියදම රුපියල් මිලියන ගණනක් වියහැකි බවයි. තවමත් එය නිශ්චිතව පැවසිය නොහැකි බව ද ඔහු අදහස් දක්වා තිබුණා.