Celebrity Gossip

දිවිතුරා ටෙලිනාට්‍යයේ රඟපාන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි.හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා – විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන

ඇය දැන්  මිත්තණියකි. ඇයගේ හඬින් වත් රූපයෙන්වත් ඇයට මිත්තණියක වීමට තරම් වයසක් ගත ව ඇතැයි කිව නොහැක. “අනභිභවනීයයි… අතිවිශිෂ්ඨයි… දොස්තර පුතා…”  යන ආමන්ත්‍රණයන් නිසා රියැලටි තරඟ කලාවේදී ඇයට වෙනම ඉඩක් වෙන් වීමත්, ඕනෑම දක්ෂ තරඟකරුවෙක් වේදිකාවෙන් සමුගන්නා මොහොතේ ඔවුන් වෙනුවෙන් කඳුළක් ගිලිහී මත් මෙම අපූරු කලා කාරිණියගේ සංවේදීත්වය ලොවටම කියාපායි. විනිසුරු මඩුල්ලේ අනෙක් පිරිසට වඩා බොහොම ලස්සනට හඳින පළඳින නිසාත් ඇයගේ සාරි විලාසිතාවන්ටත් වෙනම ප්‍රේක්ෂක ආකර්ෂණයක් නිර්මාණය වීම පිළිබඳව ද අමුතුවෙන් ඔබට කිවයුතු නොවේ. අද වන විට ටෙලි නාට්‍ය රංගනය හරහා ද ජනතාවට සමීප වී ඇති ඇය මීට පෙර චිත්‍රපට නිළියකි. ඇය ප්‍රවීණ සංගීතවේදී විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනයි. ඇයත්, ඇයගේ පුතණුවන්ගේ දියණිය සහ පුතාත් පසුගිය දවසක පුවත්පතක් සමඟ පිළිසඳරක යෙදී තිබුණේ මෙසේය.

ඇයගේ පවුල් පසුබිම සම්බන්ධයෙන් ඇය කියා සිටියේ මෙසේය. මගේ අම්මයි තාත්තයි දෙන්නම දිව්‍යමය ප්‍රේමයේ රඟ පෑවා. ඊට පස්සේ ඉන්දියාවේ රූපගත කිරීම් කළ අසෝකමාලා චිත්‍රපටයත් කළා. ඔවුන් අතින්වත් අල්ලන්නේ නැතුව බොහොම ප්‍රේමණීය ජවනිකා පුදුම කුසලතාවයකින් කර තිබුණා. ඇත්තටම මාව ලැබුණට පස්සේ තමයි මගේ දෙමව්පියන් ගුරු වෘත්තියට යොමු වුණේ. ඒ අතරේ කලම්බු ලියාර් රෙකෝඩින් වල දිගටම ගායනයත් කලා. තාත්තා පොල්ගොල්ල ට්‍රේනින් කොලේජ් එකේ සංගීතය පිළිබඳ කථිකාචාර්ය ධූරය දැරුවා. අම්මා ගුරුඋපදේශිකාවක් ලෙස කටයුතු කළා. මගේ ලොකු අයියා සුනිල් සිරිවර්ධන, දෙවැනි අයියා සුසිර සිරිවර්ධන, මම පවුලේ බාලයා. අපි තුන්දෙනාටම කලා හැකියාවන් පොඩි කාලේ ඉඳලම තිබුණා. පොඩි අයියා නැති වෙලා අවුරුදු පහක් වෙනවා. ලොකු අයියාගේ පුතාලා දෙන්නා මධුමාධව සහ ධනංජයත් කලාවේ දක්ෂයෝ. ඇත්තටම කිව්වොත් අපේ පවුල කලා ගහක්.

බොහෝ කාලයකින් පසු රංගනයට සම්බන්ධ වීම ගැන ඇය කියා සිටියේ මෙසේය. ඇත්තටම මම පුංචි තිරයේ රඟපාලාම  නැහැ. ෆිල්ම් තුන හතරක් විතර ඉස්සර කරලා තියෙනවා. ඒත් ඉතින් මම ඒකෙන් ඉවත් වුණා. මට නියම මාවත ගායනාවේ මාවත කියලා දැනුන නිසා. නමුත් දිවිතුරා ටෙලිනාට්‍යයේ රඟපාන්න ආරාධනාව ලැබීම මට සතුටට හේතුවක්. මගෙන් දකින්නේ බොහොම සජීවී රංගනයක් කියලා බොහෝ දෙනෙක් කියනවා. මට ඒක ලැබෙන ප්‍රතිචාර වලින්ම තේරුම් ගන්න පුළුවන්. හිරු එකේ විරාජ් තමයි මට දිවි තුරා ටෙලිනාට්‍ය රඟපාන්න ආරාධනා කළේ.

අද පරපුර  සම්බන්ධයෙන් ඇය කියා සිටියේ මෙසේය. දැන් මෙහෙමනේ අපේ කාලේ අපේ දක්ෂතා තක්සේරු කරන්න ඕඩියන්ස් තිබ්බා. අද ළමයින්ට රියැලිටි වැඩසටහන් හරහා දක්ෂතා පෙන්වන්න අවස්ථාව ලැබිලා. ඒ නිසා බොහෝ තරුණ පිරිස් සංගීතයට පිවිසෙනවා. ඔවුන් බොහෝ දෙනෙක් පැරැන්නන්ගේ ගීත හරහා තමයි ජනතා හද බැඳ ගන්නේ. හැබැයි එයාලගෙම ගීත ගයන කොට ටිකදෙනයි පැවැත්ම හදාගෙන තියෙන්නේ. ඝෝෂාකාරී සංගීතය, ඉල්ලන දේ දීම, මත ගුණාත්මක පැත්ත අඩු අය කුසලතා අඩු අය ඉබේම නැතිවෙලා යනවා.

ඇයගේ මුණුබුරා හා මිණිබිරියගේ සංගීත ගමන සම්බන්ධයෙන් ඇය කියා සිටියේ මෙසේය. මගේ මුණුබුරාගේ සහ මිණිබිරියගේ සංගීත ගමන මට ලොකු ආශ්වාදයක්. පුංචි කාලේ ඉඳලා මම මේ දෙන්නට සංගීතය කියා දෙමින් අවශ්‍ය පාර හදලා දුන්නා. අද එයාලා ඒ මාර්ගයේ කැපවීමෙන් යනවා මම දකිනවා. මගේ මුණුබුරා දක්ෂ වාදකයෙක්. දුල්ෂාරා කතක් නර්තන ශිල්පිනියක්. ඇය කතක් නර්තනයේ විශාරද විභාගයටත් හොඳින් මුහුණ දුන්නා. එයාලට ලැබුණු ආභාෂය ගුරුහරුකම් පුහුණුවීම් ඉදිරියට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ මිණිබිරිය වන දුල්ෂාරා, ඇයගේ මේ දින වල වැඩකටයුතු සම්බන්ධයෙන් කියා සිටියේ මෙසේය. මේ දවස්වල වෙනද වගේම සංගීත පුහුණුවීම් කරගෙන යනවා. ඊට අමතරව හිරු ටීවී එකේ විකාශය වන දිවි තුරා ටෙලිනාට්‍ය සමාධි කියන චරිතයේ තරුණ කාලයට රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ඒක තමයි මගේ පළමු රංගනය.

චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ මුණුබුරා වන  දෙවින් මේ දවස්වල ඔහුගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් කියා සිටියේ මෙසේය. ජීවිතයේ කිසිම කලබලයක් නැහැ මට. මමත් සංගීතයට ආසා වෙන්නෙ ආච්චි නිසා. ආච්චිගෙ මියුසික් නිසා. මට කැමැත්ත ඇති වෙන්නේ ගායනයට වඩා වාදනයට. මුලින්ම මම කැමැති වුණේ පියානෝ වාදනයට. මම පියානො වාදනය ඉගෙනගත්තේ රොහාන් ජෝශප් ද සේරම් ගුරුතුමා යටතේ. ඊට පස්සේ වයලීන් ඉගෙන ගත්තා. දැන් මම ඉදිරියට යන්නේ ගිටාරිස්ට් කෙනෙක් විදියට.  ඒක තමයි මම වාදනය කරන්න කැමති  වාද්‍ය භාණ්ඩය

චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ මුණුබුරා සහ මිණිබිරිය, ඔවුන්ගේ ඉදිරි ගමනට ආච්චිගෙන් ලැබුණ සහයෝගය සම්බන්ධයෙන් කියා සිටියේ මෙසේය. ආච්චි ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. රඟපෑම නිසා එයා මේ දවස්වල තවත් ජනප්‍රියයි. ආච්චිගෙ දක්ෂතාවය අපට ලොකු හයියක් දෙනවා.