Celebrity Gossip

මං කිසිම එන්නතක් හෝ ප්ලාස්ටික් සැත්කමක් කරල නැහැ.මට ඒක ඕන තැනකදී ඔප්පු කරන්න පුළුවන්-නතාශා පෙරේරා

“සුළඟක් වී මං යනවා දුර අහසේ ඉගිලෙන්නට” කියා සහෘද සිත් සතන් තුළ සියුම්ව ලැගුම් ගත් ඇය නතාශා පෙරේරායි. සුළඟටත් වඩා වේගයෙන් දඟ කළ පුංචි කතුරක් වගේ කියවූ දඟමල්ල ඉන්පසු ඒ සොඳුරු මතකය අලුත් කළාය. ඒ පුංචි කෙල්ල කාලයත් සමඟ යුවතියක් වුණත් හිතේ ඇදුණු පුංචි දඟමල්ල තවමත් පුංචියට ලැගුම් ගෙන ඇත්තේ පුදුමාකාරයි. ඉතින් ඇය පසුගිය දවසක පුවත්පතක් සමඟ එකතු වෙලා මේ විදියට කතාබහ කරලා තිබුනා.

විවාහයෙන් පස්සේ කලා කටයුතුවලට වාරණයන් වැටුණද කියන ප්‍රශ්නයට ඇය මෙලෙස පිළිතුරු දීලා තිබුනා. “ඊට හේතුව විවාහයෙන් පසුව විදේශගත වීමට සිදුවීමයි. ස්ථිර පදිංචියට මං ඕස්ට්‍රේලියාවට ගියා. නිවාඩුවට ලංකාවට පැමිණිලා දැන් අවුරුදු එකහමාරකට ආසන්නයි. දැන් දිගටම ලංකාවටම වී සිටින්නයි බලාපොරොත්තුව. ඒ හේතුව නිසා ආරාධනා ලැබුණු නිර්මාණ ගණනාවක් මට මඟහැරුණා. ඊට කලිනුත් කලා නිර්මාණ කිහිපයක්ම මඟඇරුණේ අධ්‍යාපන කටයුතු නිසායි. 2015 නීතිඥවරියක් වීම හා විදේශගත වීම වැනි සාධක නිසා කලාවෙන් පුංචි විරාමයක් ගන්න මට සිදු වුණා.”

කලාවෙන් විරාම ගැනීම තුළ ජනප්‍රියත්වයට ඇති වු බාධා ගැන ඇය මෙහෙම කියලා තිබුනා. “ඕනෙම දෙයක් එකම විදිහට පවතින්නේ නැහැ කියන සත්‍ය මං තේරුම් අරගෙනයි සිටින්නේ. ජනප්‍රියත්වයටත් එය පොදුයි. සුළඟක් වී මං යනවා ගීතය කරලා අවුරුදු විස්සක් ගතවී හමාරයි. ජනප්‍රියත්වය එදා මෙන් අදත් එලෙසම පවතින්නෙ නැහැ කියලා මම දන්නවා. එය සාමාන්‍ය දෙයක් වගේම ලෝක ස්වභාවය. මං ලොකු නිර්මාණ ප්‍රමාණයක් නොකළත් තවමත් මිනිසුන් මට ආදරය කිරීම පුදුම සහගතයි. එය මං ලද විශාල භාග්‍යයක්.”

ලංකාව වගේ සංස්කෘතික රටක ජීවිතය විඳීම හා ෆැෂන් කිරීම වැනි කාරණා නිදහසේ කිරීමට අපහසුවීම ගැන ඇය මෙලෙස අදහස් දක්වලා තිබුනා. “එය දකින කෙනාගේ කෝණය මත වෙනස් වෙනවා. සංස්කෘතිය, සදාචාරය කියන තැනදී යම් යම් වාරණයන් පැනවෙනවා. තැනට සුදුසු ලෙස විලාසිතා කිරීම තුළ එකී තත්ත්වයන් උද්ගත වෙන්නේ නැහැ. මං කලාව තුළ ජීවත් වෙන කෙනෙක් වගේම ෆැෂන් කරන්න ගොඩක් කැමැති කෙනෙක්. සුළුතරයක් විවිධ චෝදනා එල්ල කළත් බහුතරයක් ඒ ෆැෂන් ෆලෝ කරනවා. ඒ පිළිබඳව කාගෙවත් කතාබහට ලක් වෙන්නෙත් නැහැ. කලාව තුළම විලාසිතා කළත් නීතිඥ වෘත්තිය තුළදී මම මේකප් භාවිත කරන්නෙත් නැහැ. එක් එක් අවස්ථාවලදී අපට එහි ස්වභාවයට හැඩගැසෙන්න පුළුවන්නම් එය ගැටලුකාරී තත්ත්වයක් නෙමෙයි.”

සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කරන මඩ ප්‍රහාර හා චෝදනා කාන්තාවක් ලෙස දරාගත්ත ආකාරය ගැන ඇය කියලා තිබුනේ මෙහෙමයි. “ක්ෂේත්‍රය තුළ රැඳී සිටිනවා නම් ඔසවා තැබීම් වගේම මඩ ප්‍රහාර දරා ගන්නට හැකි විය යුතුයි. වර්ණනා කරනකොට ඉදිමෙන්නත් මඩ ප්‍රහාර එල්ල කරනකොට මානසිකව ඇදවැටෙන්නත් අප පුරුදු පුහුණු වුණොත් ජීවත් වෙන්න අපහසුයි. ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගැනීමයි බෞද්ධාගමේ හරය. එය හුදෙක් සාමාන්‍ය දෙයක් ලෙස සාධාරණීකරණය කරගන්න පුළුවන් නම් ක්ෂේත්‍රය තුළ රැඳී සිටින්න පමණක් නෙමෙයි ජීවත් වෙන්න පහසුයි.”

රූපය වෙනස්වීම ගැන ක්‍ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිරුණා. ඇය ඒ පිළිබඳව දරන මතය වුනේ මෙයයි. “තවමත් විවිධ කටකතා පැතිරෙනවා. මම එය ඉදුරා ප්‍රකාශ කළත් මිනිසුන් පිළිගන්නේ තමන්ට අවැසි දේ පමණයි. මං කිසිම එන්නතක් හෝ ප්ලාස්ටික් සැත්කමක් සිදු කරල නැහැ. එය ඕන තැනක මට ඔප්පු කරන්න පුළුවන්. මගේ නම භාවිත කර විවිධ එන්නත් වර්ග අලෙවි කිරීමේ ජාවාරමක නිරත වෙනවා. මම ඔවුන්ට පෞද්ගලිකව කතා කරල එය නිවැරදි කළා. ෆැෂන් කරන්න වගේම ලස්සනට ඉන්න අවශ්‍යයි. නමුත් ඇතැම් ආලේපනවලින් සිදුවන හානිකර තත්ත්වයන්වලට ටික කාලයක් ගත වෙනවා. ඒ නිසා ස්වාභාවික රූපලාවණ්‍ය සත්කාරවලින් සම පැහැපත් කර ගැනීමයි වඩාත් වැදගත්.”

කලාව තුළින් ආර්ථිකය ස්ථාවර තත්ත්වයක් ගොඩනඟා නොගත්තේ එයින් පැවැත්මක් ගොඩනඟා ගන්න අපහසු නිසාද යන්න පිළිබඳව ඇය කියලා තිබුනේ මෙහෙමයි. “මං ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ ළමා ගායිකාවක් විදිහට.  කලාවත් එක්ක අධ්‍යාපන කටයුතු සමබර කරගන්න මට හැකි වුණා. මං කවදත් කලාව කළේ අර්ධකාලීනව. ඒ නිසා  ඉදිරියේදිත් අධ්‍යාපන  සුදුසුකම් මත  වෘත්තීය කටයුතු කරමින් කලා කටයුතුත් කැපවීමෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.” කියලයි ඇය අවසාන වශයෙන් කියලා තිබුනේ.