Celebrity Gossip

හැගීම්වලට වහල් වෙලා තීරන ගන්නවාට වඩා හොඳයි ගැලපෙන කෙනෙක් එනකන් ඉන්න එක​-තාමත් තනිකඩ ශාලිකා කියන කතාව​

මේ දිනවල ‘අදුන්ගිර’, ‘ මහවිරු පණ්ඩු’ ටෙලිසිත්තම් තුළින් ඔබ හමුවට එන ඇය තුෂාරා, සරුංගල් වැනි සිනමා නිර්මාණ තුලින්ද ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය නමින් ශාලිකා එදිරිසිංහයි. ඉතින් සති අන්ත පුවත්පතක් සමඟ ඇය කළ පිළිසඳරක් පිලිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නටයි අප සුදානම් වෙන්නේ.මුලින්ම ඇය කියා සිටියේ මේ දිනවල වැඩකටයුතු ගැනයි. “ මේ දිනවල ‘අහිමි’ කියන ටෙලි ෆිල්ම් එකේ රූගත කිරීම් සිදුකරනවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන ‘අදුන්ගිර’ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සිදු කරගෙන යනවා. ඒ වගේම හිරු නාලිකාවේ ‘මහවිරු පණ්ඩු’ ටෙලි නාට්‍යය විකාශය වෙනවා.”

‘අදුන්ගිර’ ටෙලි සිත්තමේ ඇය නිරූපණය කරනු ලබන චරිතය ගැනත් ඇය කතා කළා. “ ඇත්තටම මම ‘අදුන්ගිර’ ටෙලිනාට්‍යයේ නිරූපණය කරන්නේ වෙනස් විදියේ චරිතයක්. එය සිංහල ගම්මානයක ජීවත් වෙන දරුවන්ට ආදරය කරන, පවුල වෙනුවෙන් කැපකිරීම් කරන දුප්පත් දමිළ කාන්තාවකගේ චරිතයක්. ඒක ඇත්තටම අභියෝගයක්. මම මේ චරිතය කරන්නේ ඉතාම ආදරයෙන් වගේම කැමැත්තෙන්. ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වෙනස් විදියේ චරිතයක් කියලා මිනිසුන් කතා වෙනවා.”

ඊළඟට ශාලිකා කතා කළේ ඇය රංගන වෘත්තීය තෝරාගන්න හේතු වූ කාරනය ගැනයි. “ මම රංගන වෘත්තීය තෝරාගත්තා නෙවෙයි. මට ඒ අවස්ථාව ලැබුණා. මම කැමැත්තෙන් හිටියේ නර්තන ගුරුවරියක් වෙන්න. මම මුලින්ම වේදිකා නාට්‍යවල රඟපෑවා. ඊට පසුව කිඳුරු නදිය කියන ටෙලිනාට්‍යයේ කාංචනා මෙන්ඩිස්ගේ නංගිගේ චරිතයට රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒ විදියට තමයි රංගනයට පිවිසුණේ. නොදැනුවත්වම මේ වෘත්තියට පිවිසුණා. නමුත් නර්තන අංගයන් සහිත චරිත මම කරලා තිබෙනවා. ඉදිරියටත් නර්තනය සම්බන්ධ නිර්මාණ ලැබුණොත් සහභාගී වෙනවා.” කියලයි ඇය කිව්වේ.

ඇය ව්‍යාපාරිකාවක් විදියටත් කටයුතු කරනවා. රංගන ක්ෂේත්‍රය තුළ වෘත්තීය තත්වයක් පවත්වාගෙන යාම අපහසු කර්තව්‍යක්ද යන්නටත් ඇය පිළිතුරු දී තිබුණේ මේ ආකාරයටයි. “ නැහැ එහෙම දෙයක් නැහැ. අපිට ලැබෙන මුදල කළමනාකරණය කරගන්න අපි දැනගන්න ඕනෑ. නමුත් මම හිතන්නේ අපිට වෙනත් ව්‍යාපාරයක් තිබෙනවා නම් මුදල ගැන පමණක් සිතන්නේ නැතුව නිර්මාණයක ගුණාත්මක බව සලකලා හොඳ නිර්මාණ සඳහා පමණක් දායක වෙන්න පුළුවන්. රංගනයේදී අපි අද හම්බකරන එකක් පමණයි. නමුත් අපිට වෙනත් වෘත්තියක් හෝ ව්‍යාපාරයක් තියෙනවා නම් අනාගතය සුරක්ෂිතයි.”

මෙතෙක් තනිව ආ ගමනේ සහකරුවෙකු සිටියොත් හොඳයි නේද යන පැනයටත් ඇය අදහස් දැක්වුවේ මෙලෙසයි. “ සහකාරයෙක් හිටියොත් හොඳයි . නමුත් ඒ සුදුසුම කෙනා වෙන්න ඕනෑ. එහෙම නැතුව හැඟීම්වලට වහල් වෙලා තීරණ අරගෙන පසුතැවෙනවාට වඩා හොඳයි තමන්ට ගැළපෙන කෙනෙක් ලැබෙන තුරු සිටින එක.”

ඒ වගේම අවසාන වශයෙන් ශාලිකා ඇගේ ඉදිරි වැඩ කටයුතු ගැනත් බලාපොරොත්තු ගැනත් කියා තිබුණේ මෙවැන්නක්. “ නතර කළ වැඩ කිහිපයක නැවත වැඩ ආරම්භ කරන්න තිබෙනවා. ඒ වගේම මගේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කරන්න බලාගෙන සිටිනවා. ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත් බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා. නමුත් විශාල බලාපොරොත්තු නැහැ. මොකද එහෙම විශාල බලාපොරොත්තු තියාගත් පසුව දැනෙන දුක වැඩියි. හැමදෙයක් ගැනම මධ්‍යස්ථව හිතලා ජීවත් වෙනවා.”