Celebrity Gossip

මම ලස්සනට නටනවා ,ලස්සනට රඟපානවා කියලා හැමෝම කියනවා- තෙනුජි විනාරා

තෙනුජි විනාරා කියන්නේ කලා ලෝකයේ ඉන්න ළමා රංගන ශිල්පිනියක්. සති අග රාත්‍රි 9.00ට ස්වාර්ණවාහිනි නාළිකාව තුළින් ඔබ හමුවට එන මේ කටකාර හැඩකාරිය මේ වන විටත් ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය දිනාගෙන අවසන්. පානාමංකඩ ටෙලි නිර්මාණයේ පොඩ්ඩි කියන්නේ රංගනයට වගේම නර්තනයටත් උපන් හපනියක්. ඉතින් ඇය පසුගිය දවසක පුවත්පතක් එක්ක එකතුවෙලා මේ විදියට කතාබහ කරලා තිබුනා.

මේ දවස්වල ඇය මොකද කරන්නේ කියලා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීලා තිබුනේ මෙහෙමයි. “මේ දවස්වල අනුරුද්ධ ජයසිංහ මාමගේ ‘පියාඹන මූනිස්සන්’ ටෙලි නාට්‍යයයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. තව නන්දා මාලනී නැන්දගේ සින්දුවක විෂුවල් එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සම්බන්ධ වුණා.”පානාමංකඩ නාට්‍යයේ ‘පොඩ්ඩි’ට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර ගැනත් ඇය කියලා තිබුනා. “ගොඩාක් දෙනෙක් කතා කරනවා. එයාලා කියනවා මන් ලස්සනට නටනවා, ලස්සනට රඟපානවා කියලා. රූගත කිරීම් කරන ප්‍රදේශවලට ගියාමත් මිනිස්සු හම්බවුණාම මට කියනවා ගොඩක් ආසාවෙන් නාට්‍යය බලනවා කියලා. ලොකු පොඩි හැමෝම වගේ කියනවා පානාමංකඩ හැමදාම බලනවා ගොඩාක් ලස්සනයි කියලා.”

තෙනුජිට පොඩ්ඩිගේ චරිතය සඳහා රඟපාන්න අවස්ථාව ලැබුනු ආකාරය ගැන මෙහිදී කියලා තිබුනා. “පානාමංකඩ නාට්‍යය සඳහා චරිත තෝරාගන්න ඔඩිෂන් එකක් තිබුණා. මමත් ඔඩිෂන් එකට ගියා. එතැනදී ජවනිකාවක් රඟපාලා පෙන්නන්න කියලා කිව්වා. නටලා පෙන්නන්න කිව්වා. ඒ වුණත් මුලදි කිව්වා වයස මදි කියලා. ඊට පස්සෙ මම ගෙදර ඇවිත් ඉද්දි දවස් පහකින් විතර කතා කරලා කිව්වා පොඩ්ඩිගේ චරිතය වෙනුවෙන් මාව තෝරගත්තා කියලා. එහෙම තමයි නාට්‍යයට සම්බන්ධ වුණේ.”

ඇයට ලස්සනට නටන්න පුළුවන් වීම ගැන ඇය කියලා තිබුනේ මෙහෙමයි. “නටන්න පුළුවන්. ලස්සනට නටනවා කියලා නම් හැමෝම වගේ කියනවා. මම දෙරණ ලිට්ල් ස්ටාර් නවවැනි සීසන් එකේ අවසන් වටය දක්වාම ආවා. මම ලිට්ල් ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නකොට මම නර්තනය පුරුදු පුහුණු වුණේ ප්‍රනීත් මුදලිගේ සර් යටතේ. පානාමංකඩ නාට්‍යයට තෝරගන්න වුණත් මට නටන්න පුළුවන් වෙච්ච එක සුදුසුකමක් වුණා. ඒ නිසා මම ප්‍රනීත් සර්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.”

පාසලේ හා පවුලේ විස්තරත් ඇය කියලා තිබුනා. “මගේ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, මල්ලියි. මගේ අප්පච්චි චන්දිම කරුණාරත්න. මගේ අම්මා මධුශානි හේරත්. මල්ලි තේජන සයෝන්.  මම එක ශ්‍රේණියේ සිට දෙක ශ්‍රේණිය වෙනකල් ඉගෙන ගත්තේ ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ. ඊට පස්සෙ මම තුන ශ්‍රේණියේ සිට මේ දක්වා අධ්‍යාපනය ලබන්නේ යක්කල අනුර ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයෙන්. මම දැන් ඉන්නේ පහ ශ්‍රේණියේ.”

තෙනුජිගේ රංගන වැඩ කටයුතුවලට පාසලෙන් වගේම ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරලා තිබුනා. “මගේ රංගන වැඩකටයුතුවලට පාසලෙන් අවසර දීලා තියෙනවා. මගෙ පන්ති භාර ගුරුතුමියත් අනෙක් ගුරුවරුත් ඉගෙනීම් වැඩකටයුතුවලදී මට ගොඩාක් උදවු කරනවා. මඟ ඇරෙන පාඩම් කියලා දෙනවා. ඒ වගේම යාළුවොත් මට ගොඩාක් උදවු කරනවා. අම්මා තමයි නිතරම මගෙත් එක්කම ඉඳලා මට ගොඩක්ම උදවු කරන්නේ. මාව රූගත කිරීම්වලට එක්කගෙන යන්නේ අම්මා. අප්පච්චිත් පුළුවන් හැම වෙලාවෙම වගේ මාත් එක්ක එනවා. අම්මාත් මම වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.”

ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමඟ වැඩ කටයුතු කිරීමේ අත්දැකීම මොනවගේද කියලා ඇය කියලා තිබුනේ මෙහෙමයි. “පානාමංකඩ රූගත කිරීම්වලදී මට අවස්ථාව ලැබුණා ප්‍රවීණ නළු නිළියන් සමඟ කටයුතු කරන්න. ලක්ෂ්මන් මෙන්ඩිස් මාමා, මොරීන් චාරුනි නැන්දා වගේ අය මට ගොඩාක් දේවල් කියලා දුන්නා. රඟපාන එක විතරක් නෙවෙයි. කොහොමද  ඒ වගේ තැන්වල ගිහින් ඉන්නෙ. රංගනයත් එක්ක පාසල් වැඩ කටයුතුත් කරන්නෙ කොහොමද කියලා එයාලගෙම දරුවෙක්ට වගේ ආදරෙන් කියලා දුන්නා.”

අනාගතයේ කවුරු වෙන්නද බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලා ඇය කියලා තිබුනේ මෙහෙමයි. “අනාගතයේ මම කවුරු වේවිද, මොනවගේ වෘත්තියක් කරයිද කියලා මට හරියටම කියන්න බැහැ. මගේ අධ්‍යාපන කටයුතුත් එක්කම නර්තනය සහ රංගනය හොඳට ඉගෙනගන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.” කියලයි ඇය අවසාන වශයෙන් කියලා තිබුනේ.