Celebrity Gossip

දක්ෂ ප්‍රහසන රංගන ශිල්පියෙකුට ඕනෑම සංකීර්ණ චරිතයක් කිරීමට හැකියාව තියෙනවා-ජනප්‍රිය රංගන ශිල්පී සුරංග සතරසිංහ

ඔහු අපුරු ප්‍රහසන රංගන ශිල්පියෙකි . එයින් නොනවතින ඔහු චරිතාංග කුලයේ දැවැන්තයෙකි. ඔහු නමින් සුරංග සතරසිංහ. ඉතින් ජනප්‍රිය රංගන ශිල්පී සුරංග ප්‍රසිද්ධ පුවත්පතක් එක්ක එකතුවෙමින් ඔහුගේ අලුත්ම තොරතුරු සඳහන් කරලා තිබුනේ මෙන්න මේ විදියටයි.මේ දිනවල ඔහුගේ ජිවිතේ ගෙවෙන විදිය ගැන ඔහු කියලා තිබුණේ මෙහෙම කතාවක්. “මේ දවස්වල අපිට ඕන විදිහට ගෙවන්න බැහැ . කොවිඩ් විසින් අපව මෙහෙයවන විදිහට ජීවිත වෙනස් කරගෙන පරිස්සමෙන් කාලය ගෙවනවා . වසංගත තත්ත්වය පාලනය කරගෙනයි මේ දිනවල සිටින්නේ.”

ලොව තුළ උත්සන්න වෙමින් පවතින වසංගත තත්ත්වය තුළ ඇති වූ අපහසුතාව ගැන කලාකරුවෙක් විදියට ඔහුට දැනෙන විදිය ගැනත් කියලා තිබුණේ මෙහෙමයි.  “ වසංගත තත්ත්වය කලා ක්ෂේතයට පමණක් සිමා වූවක් නොවේ . සියලුම ක්ෂේත්‍රයන්ට එය එක සෙයින් බලපෑම් කලා . මිනිසුන්ගේ මුලික අවශ්‍යයතා ලෙස ආහාරපාන , ඇදුම් පැළදුම් , අධ්‍යාපනය , සෞඛ්‍ය ආදී අංශයන් දක්වන්න පුළුවන්. එහිදී විනෝදාශ්වාදය පවතින්නේ අවසන් අදියර තුලයි. ඒ නිසාම මිනිසුන්ට මුලින්ම ගිලිහෙන්නෙත් එකී ක්ෂේත්‍රයයි.

එහිදී පළමුවෙන්ම පිටත රූගත කිරීම් නැවත්වීමට සිදුවුණා. එකී නීතියෙන් පිට පැනපු ගොඩක් කලාකරුවන්ට මෙම වසංගත තත්ත්වයේ ගොදුරු බවට පත් වීමට සිදුවුණා. මමත් මේ වසංගතයේ කොටසක් වී අසීරුවෙන් ජීවිතය ගොඩදාගත්තා. මේ කාලයේදී මිනිසුන් සිටින පීඩාකාරී තත්ත්වයෙන් ඔවුන් මුදාගැනීමට කලාකරුවන් විදියට අපට හිමි වී තිබින්නේ සීමිත ඉඩ ප්‍රමාණයක් පමණයි. එහි වඩාත් ඵලදායි ක්ෂේත්‍රය අන්තර්ජාලය භාවිතය. ඒ නිසා යුටියුබ් චැනල් එකක් හරහා මිනිසුන්ගේ රසාස්වාදය සදහා කටයුතු කරන්න අප පටන් ගත්තා.”

ප්‍රහසන අත්‍යාවශ්‍ය වූ යුගයක එකී ක්ෂේත්‍රය නියෝජනය කරන නිර්මාණ බිහි නොවන්නේ ඇයි ? “ මේ යුගයේ ප්‍රහසනය මුල් වූ නාට්‍ය බිහි නොවීමට හේතුව කලකට ඉහත දී ප්‍රහසන මුල් වූ නාට්‍ය බහුලව බිහි වීමයි. බොහොමයක් නාළිකාවල අවම වශයෙන් ප්‍රහසන නාට්‍ය දෙකක් හෝ තුනක් කලකට ඉහතදී විකාශය වුණා. ඒ නිසා නාලිකා ප්‍රධානීන් කොමඩි රැල්ල ඇති කියා තීරණය කරන්න ඇති. නමුත් මේ වන විට ප්‍රහසන නාට්‍යවල ලොකු අවශ්‍යතාවක් සමාජය තුල පවතිනවා. අද ප්‍රවෘත්ති අහලා මිනිසුන් පුටුවෙන් නැගිටින්නේ පපුවට ගින්දර අවුලුවගෙනයි. දිනයක මියයන මිනිසුන්ගේ ප්‍රතිශතය , වැඩ වර්ජන , උද්ඝෝෂණ , දුෂණ ආදී තත්වයන් නිසා නිවුස්වලින් ඉතුරු කරන්නේ වේදනාව විතරයි. ඉන් පස්සේ බලන නාට්‍යයේත් තියෙන්නේ පවුල් ප්‍රශ්නයක් , පවුලේ ආරවුලක් නැත්නම් දරුණු සමාජ අර්බුදයක්. ඒ නිසා නිවුස් වලින් පසුව කෙටි ප්‍රහසන නාට්‍යයකට හෝ මේ කාලයේ ඉඩ වෙන් වෙනවා නම් ගොඩක් වටිනවා.    

වර්තමානයේ කලාවේ සිදුවෙමින් පවතින තවත් දෙයක් තමයි චරිතාංග රංගන ශිල්පීන් ප්‍රහසනයට යොමු වූ විට නැවත නැවතත් ඔවුන්ට ලැබෙන්නේ ප්‍රහසනය මුල් වූ නිර්මාණමයි. ඉතින් ඒ පිළිබඳව ඔහු දරන්නේ මෙවන් අදහසක්. “ එය විශාල අපරාධනයක් වගේම අසාධාරණයක්. ප්‍රහසන නළුවෙක් හා චරිතාංග නළුවෙක් ලෙස දෙකොටසකට වෙන් කිරීමත් ලොකු වරදක්. දක්ෂ ප්‍රහසන රංගන ශිල්පියෙකුට ඕනෑම සංකීර්ණ චරිතයක් කිරීමට හැකියාව තියෙනවා. එයට හොඳ උදාහරණය ජෝ අබේවික්‍රම මහත්මයා. ඔහු මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ප්‍රහසන රංගන ශිල්පියෙක් විදියටයි.”

ජීවිතය ආපස්සට යන්න වරමක් ලැබුණොත් නිවැරදි කරගත යුතු දෙයක් ගොඩනඟා ගත යුතු දෙයක් තියෙනවද ? “ අනිවාර්යෙන්ම ගොඩනඟා යුතු දේවල් බොහොමයි. රංගනයෙදී වගේම පිටපත් රචනයේදී හැදෑරීම කියනදේ අත්‍යවශ්‍යයි. විවිධ භාෂා කතා කරන්න පුළුවන් නම් කියා මට හිතුණු වාර අනන්තයි. කලාව කියන්නේ අඳ බාලයන්ගේ විෂයක් නෙමෙයි. බුද්ධිමත් වුවන්ගේ ක්ෂේත්‍රයක්. එවිටයි අපෙන් රසිකයන්ට බුද්ධිමය දෙයක් උකහා ගත කිරීමට හැකි වෙන්නේ.”

ඉතින් අවසාන වශයෙන් ඔහුගේ අනාගත බලාපොරොත්තු ගැන ඔහු සඳහන් කර තිබුණේ මෙහෙමයි. “මගේ ජීවිතයේ මං කරපු හොඳම නිර්මාණය මගේ පුතා. පොළොවේ පය ගහලා ඉන්න හොඳ දරුවක් මමයි මගේ බිරිඳයි ගොඩනැඟුවා. අප ඉතිරි කරගත්තේ ඒ ආයෝජනය පමණයි. ලොකු සම්පත් , අනවශ්‍ය සැප හොයන්න දැන් මගේ ලොකු බලාපොරොත්තුවක් නැහැ.”