Celebrity Gossip

මම චරිතවල දිග,පළල මනින්නේ නැහැ-පාරදිගේ ටෙලිනාට්‍යයේ අබියා කියන කතාව

සෝමරත්න දිසානායකයන් අධ්‍යක්ෂණය කළ ‘බිංදු’ චිත්‍රපටයේ ‘මුතු’ චරිතය නිරූපණයෙන් සිනමාවට පිවිසුණු ඒ පුංචි කොලු පැටියා දැන් ලොකු ඉලන්දාරියෙක්. සිනමාවේ විතරක් නෙවෙයි ඔහුට දැන් ටෙලිනාට්‍ය ගණනාවකම සුවිශේෂී චරිත නිරූපණය කිරීමටද වාසනාව හිමිවෙලා. එදා ‘මුතු’ ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඔහු මේ දිනවල විකාශනය වන ‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ ‘අබියා’ චරිතය නිරූපණය කරමින් ඔබ සමීපට එනවා. ඉතින් අපි අද ඔබ වෙත ගෙන එන්නේ සචින් චතුරංග පුවත්පතක් සමඟ එක්වෙමින් ඔහු ගැන කියූ අලුත්ම තොරතුරු ඔබවෙත ගෙන එන්නටයි.

සචිත් කියන්නේ දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඉතින් ඔහුට ඒ ජනප්‍රියත්වය ලබන්නට මඟ හෙළිකළ ‘මුතු’ චරිතය පිළිබඳව ඔහු මුලින්ම මතක් කළා. “ මුතු චරිතය මම රඟපාන කොට මට වයස අවුරුදු දහයක් විතර ඇති. මගේ අයියා තමයි ‘සූරිය අරණ’ චිත්‍රපටයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතයට රඟපෑවේ. ‘බින්දු චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙලා. මම ඒ අවස්ථාවේදීවත් මගේ අයියා ගැන කිව්වේ නැහැ. ඉතින් මාව ‘බිංදු’ චිත්‍රපටයට තෝරාගත් සෝමරත්න දිසානායක මාමාටත්, රේණුකා බාලසුරිය නැන්දාටත් මම විශේෂ ස්තුතිය පුදකරනවා.”

නමුත් අද ඔහුව ගොඩක් දෙනෙක් දන්නේ ‘අබියා’ විදියට. ඉතින් ඔහු ඒ ගැන කිව්වේ මෙහෙම කතාවක්. “ පාරදිගේ ටෙලිනාට්‍යයේ ‘අබියා’ චරිතය නිරූපණය කිරීමට මට ආරාධනා කළේ සද්ධාමංගල සූරියබණ්ඩාර මාමා. ‘අබියා’ චරිතයට මම ගොඩක් කැමතියි. අද සමාජයේ ‘අබියා’ වගේ මිනිසුන් ඕනෑතරම් ඉන්නවා. ලංකාවේ විතරක් නෙවෙයි, විදේශ රටවල ජීවත්වන මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.”

ඊළඟට ඔහු මේ දවස්වල ඉදිරි වැඩකටයුතු ගැනත් කිව්වා. “ බුද්ධික ලොකුකැටිය අධ්‍යක්ෂණය කරන ‘අදිසි’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් ඉදිරියේදී කුරුණෑගල අවට සිදුකෙරෙනවා. එයට සම්බන්ධ වීමට තියෙනවා. තවත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වීමට ආරාධනා ලැබිලා තියෙනවා.” ඒ වගේම සචින් දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඒ නිසා ඔහු චරිත තෝරාගැනීමක් කරනවාද යන්නටත් පිළිතුරු දුන්නේ මෙහෙමයි. “ මට තියෙන්නේ චරිත පිපාසයක්. ඒ නිසා මම චරිතවල දිග,පළල මනින්නේ නැහැ. මට කරන්න පුළුවන් නම් මම ඒ නිර්මාණයට හොඳ සාධාරණයක් කරන්න තමයි බලාපොරොත්තුව.”

සචින් කාලෙකට ප්‍රේක්ෂකයන් අතරට ආවත් කලෙකදී නිර්මාණවල දැකගන්න ලැබෙන්නේ නැහැ. මේ ආපු ගමන දිගටම රංගන ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවාද යන්නට ඔහු මෙලෙස පිළිතුරු දුන්නා. “ මම කාලයක් එක දිගට රඟපාලා ටික කාලයක් නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ නැහැ. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි. මගේ අධ්‍යාපන කටයුතු නිසා රඟපෑමෙන් ටිකක් ඈත් වෙලා හිටියා. නැවත මම අවුරුදු හතරකට විතර පස්සේ තමයි ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යට සම්බන්ධ වුණේ.

සචින් මෙතෙක් ආ ගමනේ අතීතය සිහිපත් වෙද්දී ඔහුට දැනෙන දේ ගැන අවසාන වශයෙන් කිව්වේ මෙහෙමයි. “ මගේ වාසනාව සහ දක්ෂතාව මත මම දුරගමනක් ඇවිත් ඉන්නවා. මේ වනවිට මම ප්‍රවීණ ශිල්පීන් රැසක් සමඟ එකට රඟපාලා තියෙනවා. ගොඩක් දේවල් ඔවුන්ගෙන් මට ඉගෙනගන්න ලැබුණා. ගොඩක් සතුටුයි මට අද.”