latest articles life

උඟුර රිදෙන එක ඉක්මනින්ම හොඳ කරගන්න පුළුවන් ප්‍රතිකාර 5ක්

මේ දවස්වල බොහොම වේගයෙන් පැතිරිලා යන රෝගයක් තමයි හෙම්බිරිස්සාව කියන්නේ. හැබැයි අපිට පුළුවන් නම් මේ හෙම්බිරිස්සාව හැදීගෙන එනකොටම නවත්තගන්න, රෝගයේ පීඩාකාරී බව ගොඩක්ම අඩු කර ගන්න පුළුවන් වෙනවා. හෙම්බිරිස්සාව හැදීගෙන එනකොටම අදුරගන්න පුළුවන් රෝග ලක්ෂණයක් තමයි උගුර රිදෙන එක. ඉතින් හෙම්බිරිස්සාව උඩු දුවලා රෝගය උග්‍ර වෙන්න කලින් මේ උගුරේ අමාරුව සනීප කරගන්න​ පුළුවන් ක්‍රම ටිකක් ගැන අද අපි ඔබව දැනුවත් කිරීමට සුදානම්.

1.ලුණු වතුරෙන් උගුර සේදීම

උගුර රිදීගෙන එනකොටම කරන්න ඕන මුල්ම වැඩේ තමයි මේක. ඒ තරමකට මේක සාර්ථක ප්‍රතිකාරයක්. ලුණු කියන්නේ හොඳ විෂබීජ නාශකයක් නිසා උගුර අවට පැතිරීගෙන යන බැක්ටීරියා ක්‍රියාකාරකම් වේගයෙන් මර්ධනය කිරීම සිදුවෙනවා. එතකොට විෂබීජ වලට අපේ ශරීරය ඇතුළට ගිහින් අපිට හෙම්බිරිස්සාව හදවන්න කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔබ කල යුත්තේ තරමක් උණුසුම් වතුර වීදුරුවක් අරන් ඒකට ලුණු කුඩු හැඳි එකක් මිශ්‍ර කරලා කිහිපවරක් හොඳින් උගුර සේදීමයි. පැය දෙකෙන් දෙකට මේක කරොත් හිතාගන්න බැරි ඉක්මනින් උගුරේ පීඩාකාරී තත්වය සනීප වේවි.

2.හුමාලය ඇල්ලීම​

ලුණු වතුරෙන් උගුර හෝදලා ගෙට එනකොටම උණු වතුර එකින් හුමාලය ආශ්වාස කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හුමාලයේ ලොකු වාෂ්ප ශක්තියක් උරාගෙන තියෙන නිසා එහි උණුසුම ගොඩක් හොඳට අපේ ශ්වසන පද්ධතියට මුදා හරිනවා. නාස් කුහරයේ බැඳෙන්න පටන් අරන් තියෙන සෙම ආදියත් එතකොට මුල් අවධියේම නැති වෙලා යනවා. නහය සුද්ද වීමත් එක්කම හුස්ම ගන්නකොට උගුරේ ඇතිවෙන දැවිල්ල ඉබේම පාලනය වෙනවා. හුමාලය ආශ්වාස කිරීමත් රෝගය සුව වෙනකන් දවසට කිහිප වතාවක් කිරීම කළ යුතුයි.

3.සූකිරි කන්න

වෙළඳ පොලේ උගුරේ අමාරුව සඳහා තියෙන විවිධ ටොෆි , චුයින්ගම් වැනි නිෂ්පාදන වලට වඩා ඉතා හොඳයි වගේම බොහොම අඩු මුදලකට සූකිරි ලබාගන්නත් පුළුවන්. සූකිරි වල තියෙන අධික සීනි ගතිය නිසා උගුරේ මැදීමට ලක්වෙලා තියෙන සෛල වලට හොඳ සහනයක් ලැබෙනවා. ඒ නිසා කැස්ස ඇතිවෙලා උගුර තවත් පෑරෙන එක නවත්තගන්න පුළුවන්.

4.හැකි තරම් දියර පානය කිරීම

උගුර අසාධනය වුනහම වතුර බොන එක අමාරු වුණත් එය සුවය ලබා ගැනීමට හරිම වැදගත්. හෙම්බිරිස්සාවක් හැදෙන්න ලංවෙනකොට අපේ සිරුරේ විෂබීජ එක්ක සටන් කරන්න සුදු රුධිරාණු වැය කරනවා. මේ සුදු රුධිරාණු තමයි සෙම බවට පත්වෙන්නේ. සිරුරේ ජල මට්ටම අඩු වුණොත් බැක්ටීරියා වලට වැඩෙන්න පහසු නිසා සටන් කරන්න සුදු රුධිරාණු ගොඩක් විනාශ වෙලා සෙම වැඩිපුර ඇති වෙනවා. මේ නිසා හැකි තරම් උණුසුම් දියර වර්ග පානය කිරීම තුළින් ශරීරය සජලව පවත්වා ගැනීම මඟින් ඉක්මන් සුවය ලබාගන්න පුළුවන්.

5.විවේකය

උගුර රිදීගෙන එනවා කියන්නේ අපේ ඇඟ ඇතුලේ මොකක් හරි නරක දෙයක් සිදුවෙන්න එනවා කියන එකයි. අවටින් අපට ප්‍රහාර එල්ල කරමින් විෂබීජ බොහෝමයක් සිරුරට ඇතුල් වෙන්න හදන බව තමයි එයින් කියන්නේ. සිරුරේ පහසුවෙන්ම අසාධනයට ලක්වෙන ස්ථානයක් වෙන උගුර ඒ වනවිටත් ප්‍රහාරයෙන් අඩපණ වෙලා රිදෙන්න පටන් අරන්. ඒ වේලාවට ශරීරයේ සුදු රුධිරාණු හමුදාව එයට විරුද්ධව සටන් කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ සඳහා ඔවුන්ට විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වේලාවට කළ යුතු හොඳම දේ තමයි පුළුවන් තරම් ශරීරයට විවේකය දෙන එක.