Celebrity Gossip

මම Fashions, trends පස්සේ එලවන්නේ නැහැ- ශලිනි ප්‍රනාන්දු

හිතෙහි තෙරපෙන හැඟුමින් ප්‍රේමණීය වූ චුටි මැණිකේ, විප්ලවකාරී කාන්තා භුමිකාවකින් ප්‍රේක්ෂක සිත් වසඟයට ගත්තේ ලොක්කි ලෙසිනි. එකී නමින් ආමන්ත්‍රණය කළ ඇය ශලිනි ප්‍රනාන්දුය. ඉතින් ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ එක්වෙමින් කී ඇගේ අලුත්ම තොරතුරු ඔබ වෙත ගෙන එන්නටයි අපේ මේ සුදානම.ශලිනි මේ දිනවල ඇගේ වැඩකටයුතු ගැන කිව්වේ මේ විදියටයි. ” හොඳින් සතුටින් වගේම කාර්යබහුලව ජීවිතය ගෙවනවා. සුපුරුදු ලෙස දෙවැනි ඉනිමේ වැඩකටයුතු වගේම ලොක්කි ටෙලිනාට්‍යය රූගත කිරීම් මේ දිනවල සිදු කරනවා. ඊට අමතරව ටෙලිනාට්‍යවලින් බැහැරව යම් කලා කටයුතු කිහිපයකට ආරාධනා ලැබුනා. ඒවා තුළිනුත් ප්‍රේක්ෂකයන් අතරට ඒමට බලාපොරොත්තු වෙනවා.” කියලයි ඇය කියන්නේ.

ශලිනි බොහෝ කාලයක් චූටි මැණිකේගේ චරිතය කළ නිසා ලොක්කිගේ චරිතයට හැඩගැහෙන්න අසීරු වුණාදැයි යන්නටත් ඇය මෙලෙස පිළිතුරු දුන්නා. “ඔව්, එය මට සැබවින්ම අභියෝගයක් වුණා. නමුත් ‘ලොක්කි’ ටෙලිනාට්‍යයෙහි අධ්‍යක්ෂක හර්ෂ උඩකන්ද ගෙන් ලැබුණු සහයෝගය මත චුටි මැණිකේගේ චරිතයෙන් මිදී ලොක්කිට වෙනස් හැඩයක් එක් කරගන්න මට හැකියාව ලැබුණා. ඒ නිසා එකී අභියෝග සාර්ථකව ජය ගත්තා කියා මං හිතනවා.”

ඒ වගේම ඇගේ කලා ක්ෂේත්‍රයට පිවිසීම ගැනත් ඇය මතකය ආවර්ජනය කළා. ” මම 2017 වසරේදී දෙරණ අවුරුදු කුමරිය කිරුළ දිනා ගැනීමට සමත් වුණා. එකී ජයග්‍රහණයෙන් අනතුරුව ලක්සිරි මහතාගේ ස්ක්‍රීන් ටෙස්ට් එකකට මුහුණදී ලිහිණිගේ චරිතයට මාව තෝරාගත්තා. කලා ක්ෂේත්‍රය තුළ මා මුලකුරු කියවෙන්නේ ඒ ආකාරයටයි. මගේ ගමන් මඟ ස්ථාවර කරගන්න මං එයට විශේෂ ව්‍යායාමයක් දැරුවේ නැහැ. එවැනි අසාර්ථක වුවන් තුළ නොදුටු මා තුළ  දුටු විශේෂත්වයක් අධ්‍යක්ෂකවරුන්ගේ දෘෂ්ටියට ගෝචර වන්නට ඇතියි.”

ශලිනි ගැමි චරිතවලට කොටුවෙලා කියලා කෙනෙක්ට හිතෙන්නට  පුළුවන්. ඇය එයට කිව්වේ මෙහෙම කතාවක්. “මගේ බාහිර ස්වරූපය අනුව ලැබෙන චරිත එයට බෙහෙවින් සමීපයි. නමුත් මං එකී කාණ්ඩය තුළ කොටුවෙලා නැහැ. music videos තුළින් මගේ වෙනස්ම ස්වරූපයන් දැකගන්න පුළුවන් වුණා. ග්‍රාමීය චරිත නිරූපණය කිරීමට මට අවස්ථාව ලැබුණත් එකී චරිත එකිනෙකට හාත්පසින්ම වෙනස්.”

ඇය ෆැෂන් කරන්නේ තෝරා බේරාගෙනද යන්නටත් ඇය මෙලෙස පිළිතුරු දුන්නා. ” ඔව්, එය 100%ක් නිවැරදියි. මම Fashion trends පසුපස එලවන්නේ නැහැ. යම් විලාසිතාවක් මම අනුගමනය කරන්නේ මට ගැළපෙනවා නම් විතරයි. සමහරක් trends කල් පැන ගියාම එය මගේ fashion එකක් වෙනවා. එය මං තීරණය කරන්නේ එක් එක් අවස්ථාවන්ට අදාළ විදියට වගේම ගැළපෙන විදියටයි.”

ඉතින් ඒ වගේම අවසාන වශයෙන් ශලිනි ඇගේ අනාගත බලාපොරොත්තු ගැනත් මේ විදියට කිව්වා. “මම වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ මෝස්‌තර නිරූපණ අංශයෙන්. එහි වැඩ කටයුතු වගේම හොඳ නිර්මාණ තුළින් කලාවේ දිගු කාලයක් රැඳී සිටින්නට බලාපොරොත්තු වෙනවා.” කියලයි ඇය කියා තිබුණේ.