Celebrity Gossip

ඉන්දියාවේ සිහින ලෝකවල නිර්මාණය වන මෙගා නාට්‍යය අපේ රටට ගැළපෙන්නේ නැහැ- නලීන් ප්‍රදීප් උඩවෙල

වේදිකාව, ටෙලිනාට්‍ය හා සිනමාව තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඔහු නමින් නලීන් ප්‍රදීප් උඩවෙලයි. අත්දැකීම් බහුල ප්‍රවීණ රංගන ශිල්පියෙක් ලෙස ඔහුව හැඳින්වුවොත් නිවැරදියි. ඉතින් අපි අද ඔබවෙත ගෙන එන්නට සුදානම් වන්නේ මෙම ප්‍රවීණ රංගධරයා සතිඅන්ත පුවත්පතක් සමඟ එකිවෙමින් කළ කතාබහක තොරතුරු පිළිබඳව විස්තරයි.ඔහු මුලින්ම කතා කළේ මේ දිනවල වැඩකටයුතු ගැනයි. ” සියත නාලිකවේ ‘රේස්’ ටෙලි නාට්‍යයේත් , ‘ඉරට ළඟ මිනිස්සු’ නම් වූ අලුත් ටෙලිනාට්‍යයේත් රූගත කිරීම් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. කොවිඩ් තත්වය උඩ මා සහභාගී වූ තවත් ටෙලිනාට්‍ය කිහිපයක වැඩ දැනට නතර වෙලා තිබෙනවා. ඒ වගේම පොඩි විජයගේ චරිතය අළලා නිර්මාණ වන චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවතුණා. වසංගත තත්වය නිසා එහිත් රූපගත කිරීම් දැනට නතර කොට තිබෙනවා.”

ඊළඟට ඔහු වේදිකාව තුළ අතීත රස මතක ගැනත් කියා තිබුණේ මේ ආකාරයටයි. ” එදා අපි තරුණ සේවා සභාව ටවර් හෝල් පදනමේ ප්‍රවීණයන් වූ සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, ඒ.ජේ ගුණවර්ධන, බන්ධුල විතානගේ, සෝමලතා සුබසිංහ, ට්‍රිලීෂියා ගුණවර්ධන වැනි දැවැන්තයන් යටතේ වැඩ කළා. එසේ වැඩ කළ පිරිස අතර අවසන් පුරුක අපි වෙන්න ඇතියි. ජෝ අබේවික්‍රම , දයා අල්විස් වැනි ප්‍රවීණයන් ද දර්ශන තලයේ රඟපාන විට ඒ දෙස බලා හිඳ රංගන ඉරියව් ආදිය ජීවිතයට එකතු කරගත්තා. වර්තමානයේදී එහෙම දේවල් අපිට දකින්න නැහැ. දැන් ළමයි තමන්ගේ සීන් එක ඉවර වුණාම ෆෝන් එකේ හෝ වෙනත් ලෝකවල ඉන්නේ. එදා තිබුණු සහයෝගිතාව අද නැහැ.”

ඒ වගේම වර්තමානයේ පවතින අතිශය ජනප්‍රිය මෙගා නාට්‍ය රැල්ල ගැනත් ඔහු කතා කළා. ” මෙගා නාට්‍ය ඇත්තටම විනාශයක්. නාළිකා ආයතන ප්‍රධානීන් එය වටහා ගත යුතුයි. මුලින් හොඳටම ආරම්භ කළ මෙගා ටෙලිනාට්‍ය අද වනවිට මිනිසුන්ට අප්‍රිය වෙලා. එවැනි දේවල් හර ශුන්‍ය නිර්මාණ. ඉන්දියාවේ සිහින ලෝකවල නිර්මාණය වන මෙගා නාට්‍යය අපේ රටට ගැළපෙන්නේ නැහැ. සාක්ෂරතාව 90%ක් තිබෙන අපේ රටේ ප්‍රේක්ෂකයෝ එහෙම ඔලමොට්ටල ජාතියක් නෙවෙයි.” කියලයි ඔහු නම් කියන්නේ.

අද වනවිට රංගන ශිල්පින් කුලීකරුවන් ගානට පත්වෙලා කියලා කියනවා. ඒ ගැනත් ඔහු කතා කළා. ” සමහර චැනල් ගෙවන මුදල හරි අඩුයි. ඉස්සර එපිසෝඩ් එකකට තමයි මුදල් කිව්වේ. දැන් දිනකට කම්කරුවෙකුට ගෙවන මුදල තමයි අපිට ගෙවන්නේ. දවසකට සීන් 25-30 ක් යනවා. සමහර විට රංගන ශිල්පීන්ට හරියට රඟපාන්නවත් වෙලාවක් නැහැ. මුලින් හොඳයි කියපු සමහර නිර්මාණවල මැදදී, මඟදී මා ඉවත් වෙලත් තිබෙනවා. එහෙම නිර්මාණ වලට සම්බන්ධ වෙනවට වඩා පොලුයි, සම්බෝලයි බතුයි කාලා ජීවත් වෙන එක සැපයි.”

මේතාක් පැමිණි දුර දෙස ආපසු හැරී බැලුවොත් ඔහුට එන හැඟීම ගැන ඔහු මේ විදියට විස්තර කළා. ” පොඩි දුකක් තිබෙනවා. එදා නිර්මාණවලින් ලබපු තෘප්තිය, සතුට අද නිර්මාණ තුළින් නොලැබීමේ ඛේදවාචකය ගැන ඇත්තටම දුකයි. අද හොඳ නිර්මාණ බිහි වුණත් සෑමදේම වාණිජකරණයට ලක් වෙලා. මිනිසුන් යාන්ත්‍රික වෙලා. ඒ නිසා හොඳ අධ්‍යක්ෂකවරයෙකුටත් තම නිර්මාණ එළිදැක්වීමට නොහැකි වී තිබෙනවා. සියල්ලෙහිම මිල ඉහල ගිය සමාජයක ටෙලිනාට්‍යකරණයේ රංගන ශිල්පියාගේ වටිනාකම පමණක් පහළ වැටීම ගැන කණගාටුයි.” කියලයි ඔහු අවසාන වශයෙන් කියා තිබුණේ.