Celebrity Gossip

නළුකම රඳා පවතින්නේ ඇඟේ හැඩය හෝ දාන මේකප් එක මත​ නෙවෙයි- චතුර රාජපක්ෂ

නිවේදකයෙකු ලෙස කලා ක්ෂේත්‍රයට පැමිණි ඔහු නිවේදකයෙකු ලෙසද සියුම් ලක්ෂණ විදහා දක්වමින් වේදිකා නාට්‍ය වලද පුංචි තීරයේද ප්‍රේක්ෂක සිත් වසඟයට ගෙන හමාරයි. මෑතකදී ‘ රැල්ල වෙරළට ආදරෙයි’ , ‘සකුණ පියාපත්’ , ‘ අඳුන්ගිර’ , ‘පානාමංකඩ’ ආදී ටෙලි සිත්තම් හරහා ඔහු දක්ෂතා පෙන්වනවා. ඔහු නමින් චතුර රාජපක්ෂ. ඉතින් සතිඅන්ත පුවත්පතක් සමඟ එක්වෙමින් ඔහු කළ කතාබහක් පිලිබඳ තතු ඔබ වෙත ගෙන එන්නටයි අපේ සුදානම.ඔහු මුලින්ම කලා කටයුතු පිළිබඳව කතාබහ කළා. “හිරු නාලිකාවේ රැල්ල වෙරළට ආදරෙයි , ITN නාලිකාවේ සකුණ පියාපත් , එම නාලිකාවේම  අඳුන්ගිර ටෙලි නාට්‍ය සහ ස්වර්ණවාහිනියේ පනාමංකඩ රූගත කිරීම් සමඟ කාලය ගත කරනවා. එට ආමතරව තවත් වැඩ කිහිපයක් කරගෙන යනවා. ඒවත් ඉදිරියේදී දැක බල ගන්න පුළුවන්.”

ඊළඟට ඔහු කලාවට පිවිසුන ආකාරය ගැනත් මතකය ආවර්ජනය කළා. ” මන් කලාවේ අත්පොත් තබන්නේ නිරූපණ ශිල්පියෙක් ලෙසිනුයි. ඉන් පසු නිවේදකයෙක් ලෙස MAX TV හි කටයුතු කිරීමට අවකාශ ලැබෙනවා. රගපෑමට යොමු වීමට ඇති කැමැත්ත නිසා මම මහෙන්ද්‍ර පෙරේරා සර්ගේ රංගන පාසලෙන් රංගනය ප්‍රගුණ කර එකී කාර්යට පිවිසෙනවා.” කියලයි ඔහු කිව්වේ.

අද බොහොමයක් නවකයින් සිතන්නේ නළුකම නඩත්තු කිරීම, බාහිර පෙනුම නඩත්තු කිරීම ලෙසයි. ඉතින් ඔහු ඒ ගැන අදහස් දැක්වුවේ මේ විදියටයි. ” කොහෙත්ම නැහැ. බාහිර පෙනුම නඩත්තු කිරීමෙන් පමණක් කෙටි දුරක් ගමන් කළ හැකියි. නමුත් එයින් පැවැත්මක් ගොඩනඟා ගන්න අපහසුයි. සෑම නාට්‍යයකම යම් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් එකම ස්වරූපයෙන් පෙනෙනවා එයින් උත්දීපනය වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ සාර්ථකත්වය නෙමෙයි. මම ගොඩක්ම කැමති චරිතාංග කුලයට එක්වීමටයි.”

ඒ වගේම දෙබස් කීම තුළ භාව ප්‍රකාශනය ගැබ්ව නැහැ කියන චෝදනාව අද වනවිට නවකයන්ට එල්ල වෙනවා. ඒ පිළිබඳවත් ඔහු දැරුවේ මෙවන් මතයක්. ” එයට ප්‍රධානම හේතුව වන්නේ පුහුණුවක් නොමැති වීමයි. අහසින් පහත් වුණු කෙනෙක්ට එවන් චරිත තුළ ජීවත් වීමට අවබෝධයක් නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ නළුකම රඳාපවතින්නේ ඇඟේ හැඩය, ශරීර වර්ණය හෝ භාවිතා කරන මේකප් තුළ පමණයි කියා. චරිත අනුව වාග් විලාශය, හැඟීම් ප්‍රකශ කරන විදිය වෙනස් වෙනවා. ඇතැම් විට අපේ ප්‍රකාශන මාධ්‍ය බවට පත්වන්නේ මුහුණේ ඉරියව් පමණයි. එකඳු දෙබසක් නොමැතිව අපට අපගේ අදහස් ප්‍රේක්ෂකයාට උද්දීපනය කළ යුතුයි.”

ඒ වගේම චතුර ඔහුට ප්‍රවීණයන්ගෙන් ලැබෙන දායකත්වය ගැනත් මේ විදියට කිව්වා. ” මම ගොඩක් වාසනාවන්තයි. මං ආදරේ කලේ මගේ ජීවිතයේ වීරයන් වුණු ප්‍රවීණයන් සමඟ කරට කර රංගන කටයුතු කිරීමට මට අවකාශය ලැබුනා. රංගන ශිල්පියෙක් වීමට හීන මවපු කාලේ ඉඳන් මං විශ්වාස කළ, ආදරය කළ රංගන ශිල්පින් 98%ක පමණ බහුතරයක් සමඟ රංගනයෙන් දායක වීමට මට හැකි වුණා. ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය මට වචනයෙන් විස්තර කල නොහැකි තරම්. එහිදී විශේෂයෙන්ම මහේද්‍ර පෙරේර අයියාව මතක් කරන්න කැමතියි.”

ඉතින් අවසාන වශයෙන් චතුර ඔහුගේ අනාගත බලාපොරොත්තු ගැන මේ විදියටයි. ” චිත්‍රපටයකට රංගනයෙන් දායක වීමට සිතෙහි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. යම් දිනක හොඳම නළුවා සම්මානය ලැබීමේ ආසාවකුත් හිත් කොනක තිබෙනවා. ඒ වගේම මවුපියන්ගේ හීන ඉටුකිරීමට ලොකු බලාපොරොත්තුවක් වගේම ආසාවක් තියෙනවා.” කියලයි ඔහු කතාබහ අවසන් කරලා තිබුණේ.