Celebrity Gossip

මගේ පෙනුම නිසාම​ වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ දෙමළ නිර්මාන වලට​ -රෂිප්‍රබා සංදීපනි

රෂිප්‍රබා සංදීපනි කියන්නේ සුන්දර රූ සපුවකට හිමිකම් කියන දක්‍ෂ, තරුණ රංගන ශිල්පිනියක්.  හිරු ටී.වී. නාලිකාවේ සිහින ගෙනෙන කුමාරියේ සහ සියත නාළිකාවේ රේස් ටෙලි නාට්‍යයේ ඇයව ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් මේ දිනවල කාලය ගත වන්නේ කොයි විධියටද කියලා කතා කරන්න පසුගිය දවසක ඇය පුවත්පතක් සමඟ එකතු වෙලා මේ විදියට කතාබහ කරලා තිබුනා.

සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ  “සත්සරණිගෙ” චරිතය ගැන ඇය කියලා තිබුනේ මෙහෙමයි. “කලින් වෙනත් කෙනෙක් කළ චරිතයකට replace වෙනවා කියන එක ගැන ඇත්තටම මම එහෙම කලින් හිතලා තිබුණේ නැහැ. නමුත් එම ආරාධනාව ලැබීමත් සමඟ එයට අවස්ථාවක් දීලා බලන්න ඕන කියලා මම හිතුවා. ඒක ඇත්තටම අභියෝගයක්. කතාවේ කොටස් 170ක් විකාශය වුණාට පසුවයි මම සත්සරණිගේ චරිතයට සම්බන්ධ වුණේ. ඇත්තටම රසිකයන් මුලින්ම එක් මුහුණකට හුරු වෙනවා නේ. ඒ නිසා එම චරිතය තුළ නැවත අලුත් කෙනෙක්ට හුරු වීම හරිම අපහසු දෙයක්. ඒ වගේම ශලනි තාරකා අක්කාත් ඒ චරිතයට උපරිම සාධාරණය කරලා තිබුණා.”

වෙනස් විධියේ වැඩකටත් සම්බන්ධ වෙලා තිබෙන නිසා ඒ ගැනත් කතා කරලා තිබුනා. “ශක්ති ටී.වී. එකෙන් ‘පාර්තිභා’ කියලා දමිළ චිත්‍රපටයක් කළා. මම තමයි පාර්තිභා කියන ප්‍රධාන චරිතය කළේ. එයට මා සම්බන්ධ කරගත්තේ ශක්ති ටී.වී. නාළිකා ප්‍රධානි  ආර්.පී. අබර්නාසුදන් මහතා. පාර්තිභා දමිළ චිත්‍රපටයට දමිළ රසිකයන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාරත් සමඟ මෙම “samarapoori” කියන අලුත් දමිළ ටෙලි කතා මාලාවටත් ඔවුන් මාව තෝරා ගෙන තිබෙනවා. ඒ ගැන හරිම සතුටුයි.”

ඇයට දමිළ චරිත වැඩි වශයෙන් ලැබීම ගැන කියලා තිබුනේ මෙහෙමයි. “මගේ පෙනුමත් සමඟ දමිළ නිර්මාණවලට වැඩිපුරම ආරාධනා ලැබෙනවා කියලා හිතෙනවා.  ‘නිමි’ කියන අලුත් චිත්‍රපටයේ මගේ චරිතයත් දමිළ තරුණියකගේ චරිතයක්. අප රට තුළ දමිළ නිර්මාණකරණයේ පුළුල් දියුණුවක් තවම නැති වුවත් ඒ තුළ මට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා වැඩිපුර දමිළ නිර්මාණවලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා.”

ඉදිරියේදී රඟපාන්න ආසාවෙන්න ඉන්න විශේෂ චරිත පිළිබඳ ඇය මෙහෙම කියලා තිබුනා. “මම හරි කැමැති මිනිසුන්ට එපා නොවෙන මතකේ රැඳෙන වෙනස් විධියේ හොඳ චරිත ලැබනවා නම්. ඒ වගේම අන්ධ චරිතයක් කරන්නත් හරිම කැමැතියි. ඉදිරියේදි විශේෂයෙන්ම සිනමා නිර්මාණ අතර හොඳ වැඩක් කරන්න පුළුවන්, රසිකයන්ට රස විඳිය හැකි, කෙදිනක හෝ හොඳම නිළිය කැටගරි එකට නිර්දේශ විය හැකි ආකාරයේ චරිතයන් කරන්නට ගොඩක් කැමැත්තෙන් ඉන්නවා.”

වර්තමාන තරුණ රංගන ශිල්පිනියන් අතර  ‘ජනප්‍රියතම නිළිය’ සම්මානයට දැඩි තරගයක් තිබීම ගැන ඇයගේ අදහස වුනේ මෙයයි. “මට කවදාවත් ජනප්‍රියම නිළිය කැටගරි එකට යන්න හෝ සම්මාන ගන්න කියලා එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැමදාම මම උත්සාහ කළේ කවදා හෝ හොඳම නිළිය කියන තැනට යන්න තමයි.  එහිදී මම නැඟී එන නිළියට එකම වසරේදී දෙවතාවක් නිර්දේශ වුණා. ඉතින් හොඳම නිළිය කියන සම්මානයට යෑමට නම් මා තව තවත් හොඳ නිර්මාණයන්වලට සම්බන්ධ විය යුතුයි. ඒ වෙනුවෙන් කැපවී වැඩ කරගෙන යනවා.”

ඇගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු පිලිබඳවත් මෙහිදී කියලා තිබුනා. “මමයි, අම්මයි, තාත්තයි, මල්ලියි මගේ පවුලෙ ඉන්නේ. මගෙ පාසල් දෙක මොරටුව මහ විද්‍යාලය සහ පානදුර බාලිකා විද්‍යාලය. තවම පෙම්වතියක් නෙවෙයි. නිසි කාලයේදී මේ ක්‍ෂේත්‍රය පිළිබද අවබෝධයක් ඇති ගැළපෙනම කෙනා ලැබුණොත් විවාහ වේවි. නැතිනම් තනිවම වුවත් ජීවත් වෙන්න පුළුවන් කියලා මම හිතනවා.” කියලයි ඇය අවසාන වශයෙන් කියලා තිබුනේ.