latest articles relationship

ඔබේ සහකරුටත් මෙවැනි ගතිගුණ තිබෙනවා නම් විවාහ වීමට පෙර නැවත හිතන්න

විවාහය කියන්නේ පුද්ගලයෙකුට තම දෙවෙනි උපත කිව්වොත් හරි. සාපේක්ෂව පිරිමි පාර්ශවයටත් වඩා එය කාන්තාවකට ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සළකන්නට පුළුවන්. ඒ වුණත් වර්තමානයේ කාන්තාවන් මෙහි ඇති වැදගත්කම නොසලකා, නොගැළපෙන කෙනෙකු සමඟ විවාහ වී විවාහ ජීවිතය අසාර්ථක කරගන්නවා. ඒ නිසා ඔබ විවාහ වීමට පෙර ඒ පුද්ගලයාගේ හැසිරීම් රටා සහ හිතන පතන ආකාරය පිළිබඳව  සොයා බලා තමාට ගැලපෙනවා ද නැද්ද තීරණය කළ යුතුයි. ඉතින් ඒ නිසා ඔබ විවාහ දිවියට එළඹීමට පෙර පුරුෂයකු තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු ගුණාංග කිහිපයක් පිළිබඳ අද අප මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්න සූදානම් වෙනවා.

1.සහයෝගීතාවය

සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීමට නම් දෙදෙනා අතර සෑම විටම හොඳ අන්තර් සහයෝගීතාවය තිබිය යුතුමයි. ඔබ ඔහුගේ සෑම ගැටලුකාරී අවස්ථාවකම ඔහු සමඟ සිටියත් ඔබගේ ජීවිතයේ යම් ගැටළුවක් ඇති වූ විට ඔහු එයට අවධානයක් නොදී නොසලකා හරින පුද්ගලයෙකු නම් කිසිදා විවාහයකට සුදුසු වන්නේ නැහැ. මන්ද එවැනි පුද්ගලයින් සෑමවිටම පාහේ ඔවුන්ගේ ගැටළු පමණක් නිරාකරණය කර ගැනීමට උත්සාහ දරන අතර බිරිඳ ඇතුළු අනෙකුත් පවුල් ප්‍රශ්න සුළුකොට සළකනු ලබනවා. එවැනි පුද්ගලයෙකු සමඟ ඔබ විවාහ වුවහොත් ඔබට ඔබේ ප්‍රශ්නවලට වගේම පවුලේ අනෙක් සියලු ප්‍රශ්න වලටත් තනිව විසඳුම් සෙවීමට සිදුවෙනවා.

2.සැකය

විවාහ ජීවිතය ප්‍රීතිමත්ව ගත කිරීමට නම් දෙදෙනා අතර හොඳ විශ්වාසය වගේම අවබෝධය තිබිය යුතු වීම ප්‍රබල සාධකයක් ලෙස සළකන්නට පුළුවන්.  නමුත් අද සමාජයේ බොහෝ විවාහක පුද්ගලයින්ගේ විවාහ දෙදරා යන හේතුවක් තමයි සැකය කියන්නේ. ඔබ දෙදෙනා එකට නොසිටින සෑම අවස්ථාවකදීම ඔබ ආශ්‍රය කරන යාලුවන් හිතවතුන් පිළිබඳව, ඔබ කරන කියන සියලු දේ පිළිබඳව සහ ඔබ ගන්නා තීරණ පිළිබඳව ඔහු නිතර සැකයයෙන් සිටිනවා නම් එවැන්නෙකු සමග යහපත් විවාහ ජීවිතයක් ගත කිරීම ඉතාමත් අපහසු කාර්යයක් වෙනවා.

3.අවංක බව

ඔබ විවාහ වීමට බලාපොරොත්තු වන පුද්ගලයා ෆේස්බුක් ඇතුළු විවිධ සමාජ ජාල පරිහරණ කිරීමේදී ඔබට ඒ ගැන සොයා බැලීමේ අයිතිය වළක්වනවා වගේම ඒ ඔස්සේ විවිධ තරුණියන් සමඟ පණිවිඩ හුවමාරු කරගැනීම හා සත්‍ය ජීවිතයේ තොරතුරු වසන්කර විවිධ තරුණියන් සමග සම්බන්ධතා පවත්වා ගැනීමට උත්සාහ කරනවා නම්, එවැනි පුරුෂයෙකු විවාහයෙන් පසුවත් අනියම් සම්බන්ධතාවක් පවත්වා ගැනීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. ඒ නිසා සත්‍ය වශයෙන්ම ඔබට ආදරය කරන පුද්ගලයෙකු නම් ඔබව මුණ ගැසීමෙන් පසුව එවැනි  දේවල් සම්පුර්ණයෙන්ම අත්හැරීම සිදු කරනවා. මොකද විවාහ ජීවිතයේ රහස් තිබෙන්නට බැහැ.

4.වැරදි පිළිගැනීමට හා සමාව ගැනීමට පසුබට වීම

පුංචි පුංචි රණ්ඩු සරුවල් කියන්නේ සෑම විවාහයකටම පොදු කාරණයක්. නමුත් මේ පුංචි බහින්බස් වීම් වලදී සෑම විටම ඔහු තමන්ගේ මතය නිවැරදි බව කියා  තර්ක කරනවා නම්, ඔහුගේ අතින් සිදු වූ වරදක්වත් පිළිගැනීමට සහ සමාව ගැනීමට අකමැති නම් එවන් පුද්ගලයකු සමඟ සමථයකට පැමිණීම කවදාවත් කරන්නට බැරි දෙයක්. එවැනි පුද්ගලයකු සමග විවාහ වීම ඔබ විසින් ඔබගේ ජීවිතය දුකට පත් කර ගැනීමක් වෙනවා. ඒ වගේම තමයි ඔහුට  යහළුවන් සමඟ කමින් බොමින් කාලය ගත කිරීමට ඕනෑ තරම් කාලවෙලාව තිබුනත් පොරොන්දු වූ වේලාවට ඔහු කිසිමවිටෙක ඔබව හමුවීමට පැමිණෙන්නේ නැත්නම් එවැනි පුද්ගලයෙක් සමග විවාහ ජීවිතයක් ගත කිරීමට සිතීම ඉතාම අනුවණ ක්‍රියාවක්.

5.දෙමවුපියන්ට සැළකීම

ඔබව මේ ලෝකයට බිහි කරලා යහපත් ගතිගුණවලින් පිරිපුන් පුද්ගලයෙක් බවට පත් කරන්නට  වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු ඔබේ දෙමාපියන්ට සැළකීම ඔබට ඔබේ ජීවිතයේ ඇති විශාල යුතුකමක්. ඔවුන්ව ආදරයෙන් රැක බලා ගැනීම ඔබ අනිවාර්යයෙන්ම සිදු කල යුතු දෙයක්. නමුත් යම්කිසි දවසක ඒ කාර්යය ඔබේ විවාහය බාධාවක් වුනොත් ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා ඔබ විවාහ වීමට බලාපොරොත්තු වුන පුද්ගලයා ඔහුගේ දෙමාපියන්ට සලකන ආකාරය ගැන සියුම් අධ්‍යනයක යෙදෙන්න.