Celebrity Gossip

ආදරේ කරලා මැරි කරනවාට වඩා මැරි කරලා ආදරේ කරන එක තමයි හොඳම -ශලනි තාරකා

ශලනි තාරකා කියන්නේ සම්මානලාභී රංගන ශිල්පිනියක්. සිරස කුමරිය හරහා කලාවට පැමිණි ශලනි පසුගිය වසරේදී රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය යන සම්මාන ද්විත්වයම දිනාගන්නවා.මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන “කියාදෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයේ ස්නේහාගේ චරිතය සහ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන “චලෝ” ටෙලිනාට්‍යයේ චලෝගේ චරිතය යන කැපී පෙනෙන චරිත නිරූපණය කරන ශලනි තාරකා හට ඇගේ කලා කටයුතු සහ වර්තමාන කලා ක්ෂේත්‍රය පිළිබඳ පුවත්පතක් සමඟින් මෙලෙස පවසා තිබුනා.

මේ අවුරුද්දේ අනිත් අවුරුදුවලට වඩා ටිකක් කාර්යබහුල වුණා. වැඩ වැඩි වුණා. මම මටම කියලා ගෙයක් ගත්තා. තමන්ටම කියලා ගෙයක් ගන්න එක හැම කෙනාගෙම හීනයක්. කාලයක් තිස්සේ ඒ හීනය හැබෑ කරගන්න මහන්සි වුණා.කොරෝනා නිසා හැමෝටම තියෙන අපහසුතා අපිටත් තියෙනවා. ඒත් මොකක්හරි වාසනාවකට මට කලා ක්ෂේත්‍රයේ වැඩ අඩුවුණේ නැහැ. ඒ නිසාම මට මගේ පෞද්ගලික ජීවිතේ කටයුතු ටික කරගන්න පුළුවන් වුණා. ඒ වගේම කොරෝනා වසංගතයෙන් වසර එකහමාරක් විතර පරිස්සම් වෙලා ඉඳලා අවසානයේදි මටත් වැලඳුණා. ඊට පෙර හතර පස් වතාවක් නීරෝධායනය වුණා. අවසානයේ එක් පිරිසකගේ වගකීම් විරහිතකම නිසා අපිටත් කොරෝනා හැදුණා. තවමත් එහි ප්‍රතිඵල විදිහට සුළු ආබාධ තියෙනවා.

“කියාදෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයේ ස්නේහාගේ චරිතය. ස්නේහාගේ චරිතය යම්තාක් දුරට මගේ චරිතයට සමානයි. සමහර ජවනිකා මට රඟපාන්න ලේසියි. සිදුවීම් වෙනස් වුණාට ඒ හැඟීම් දන්න නිසා මට පහසුයි ඒ චරිතය ගොඩනඟන්න. හිටපු ප්‍රේමවන්තයා මියගිය ඒ ප්‍රේමය හිතේ තියාගෙන තවමත් ළතැවෙන තරුණියක් ස්නේහා කියන්නේ. මගේ ජීවිතේ වුණු යම් යම් සිදුවීම් නිසා ඒක මටත් සමීපයි. නමුත් සිදුවීම් වෙනස්. ඒ නිසා මට ස්නේහාව ටිකක් ළඟයි. ඒත් මම එකම දෙයක එළඹගෙන කාලය වැය කරන කෙනෙක් නෙමෙයි.

මට මේ චරිතයට ආරාධනා කළේ අධ්‍යක්ෂක ධනුෂ්ක රත්නායක සහ පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමාඅරච්චි. මේ දෙපළ සමඟම මම වැඩ කරන්න ආසාවෙන් හිටියේ. මේ මම වැඩ කරන මහේෂ් අයියාගේ පස්වැනි පිටපත. ධනුෂ්ක අයියත් එක්ක මීට කලින් මට දිගටම වැඩ කරන්න හම්බුණේ නැහැ. මහේෂ් අයියාගේ පිටපත් කොහොමත් හරිම රහ ආදරේ උතුරන්න තියෙන පිටපත්. සමාජයේ නිතර ගැවසෙන චරිතයි ඔහු කතාවලට අන්තර්ගත කරන්නේ.

ඒ වගේම ශලනිගේ පෞද්ගල්ක ජීවිතයේ ආදරය ගැන ඇය කියා සිටියේ මේ ආකාරයෙන් , ඇත්තටම මට ආදරය ගැන හිතන්න කාලවේලාවත් අවමයි. එහෙම ආදරේ කරනවා නම් ඒ පුද්ගලයා වෙනුවෙන් වෙනම වේලාවක් වෙන් කරන්න ඕනේ. මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඒක ටිකක් අමාරුයි සහ මම විවාහය කියන කාරණාවට ඉක්මන් වෙන්නේ නැහැ. අපේ ජීවිතයට කෙනෙක් එන්න ඉන්නව නම් ඒ කෙනා හරිම වෙලාවට එයි. මටත් ඉරණම්කාරයෙක් කොහෙහරි ඇති. එයා වෙලාවට එයි. ආදරය කරලා විවාහ වෙනවාට වඩා විවාහ වුණාට පසුව ආදරය කරන එක හොඳයි කියලා දැන් හිතනවා.කියලයි ඇය අවසාන වශයෙන් කියා තිබුනේ.