beauty health latest articles

දෑස් වල මළානික පෙනුම නැති කරගන්න ස්වභාවික සත්කාර 5ක්

බොහෝ දෙනා කාර්‍යාලයේ වැඩ කරන්නේ පරිගණක සමඟයි. ඒ වගේම නිවසේ සිට අධ‍්‍යාපන කටයුතු  වගේ දෙයක් කරනවා නම් ෆෝන් එක, ලැප්ටොප් එක නිතරම භාවිත කරන්න වෙනවා. නිතරම පරිගණක තිරය බලා සිටීම නිසා දෑස් වෙහෙසවන්න සිදු වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් නිදහස් වෙලාවට ෆෝන් එක නිතරම භාවිතා කිරීම නිසාත් ඇස් වලට මළානික පෙනුමක් ඇති වෙනවා. ඉතින් මේ හැමදෙයක් නිසාම අපේ දෑස් වෙහෙසට පත් වෙනවා. ඒ වගේ වෙලාවට දෑස්වල ලස්සන යළි ලබා ගන්න නිවෙසේ දී කළ හැකි සරල ප්‍රතිකාර කිහිපයක්ම ගැන තමයි අද මේ ලිපියෙන් අරගෙන ආවේ.

1.පිපිඤ්ඤා සත්කාරය

පිපිඤ්ඤා ගෙඩියක් ගෙන පෙති කපා ශීතකරණයේ විනාඩි තිහක් තබා ගන්න. ඉන්පසු පෙති දෙකක් ගෙන ඒවා ඇස් මත මිනිත්තු දහයක් තබාගෙන සිටින්න. ඉවත්කර දෑස් සෝදා හරින්න. මෙය දිනකට දෙවරක් බැගින් සතියක් පුරා සිදු කරන්න.

2.තක්කාලි සත්කාරය

තක්කාලි යුෂ තේ හැඳී දෙකකට ලෙමන් ගෙඩි බෑයක යුෂ මිශ්‍ර කරන්න. එය ඩාක් සර්කල්ස්වල ආලේප කරන්න. ඇස් තුළ ආලේප නොකර පිටත පරිස්සමෙන් ආලේප කළ යුතුයි. මිනිත්තු දහයකින් සෝදා හරින්න. මෙය සතියකට දෙවතාවක් කරන්න.

3.අර්තාපල් යුෂ සත්කාරය

අර්තාපල් යුෂ ඇස්වලට සුදුසුම සත්කාරයකි. අර්තාපල් ගෙඩියක් හොඳීන් බ්ලෙන්ඩ් කර යුෂ ලබා ගන්න. පුළුන් කැබලිවල ඒ යුෂ තවරා ඩාක් සර්කල්ස්වල තබන්න. මිනිත්තු දහයකට පසු සීතල වතුරින් සෝදා හරින්න. ඒ වගේම රාත්‍රීයට නින්දට පෙර කෝමාරිකා ජෙල් හෝ මී පැණි ආලේප කර මිනිත්තු දහයක් පමණ තබා සෝදා හරින්නත් ඔබට පුළුවන්.

4.ටී බෑග් සත්කාරය

භාවිතයට ගත් ටී බෑග් ඇස්වලට හොඳ ප්‍රතිකාරයකි. භාවිත කළ ටී බෑග් ශීතකරණයේ මිනිත්තු තිහක් තබා ශීතකර ගන්න. පියවා ගත් දෑස් මත එවැනි ටී බෑග්ස් දෙකක් මිනිත්තු දහයක් තබාගෙන සිටින්න. පසුව ඉවත් කර දෑස් සෝදා හරින්න.

5.ආමන්ඩ් කිරි සත්කාරය

හොඳීන් ශීත කළ ආමන්ඩ් කිරි හෝ නැවුම් එළකිරි වලින් පුළුන් කෑලි පොඟවා ගන්න. ඒවා ඩාක් සර්කල්ස් මත තබා ගන්න. මිනිත්තු විස්සක් තිබෙන්නට හැර ඉවත් කර සෝදා හරින්න.

මීට අමතරව වැඩ කරන විට මිනිත්තු කිහිපයක් තිරය මතින් දෑස් ඉවතට ගෙන දෑසට විවේකයක් දීම, පරිගණක භාවිතය වෙනුවෙන් සැකසූ උපැස් යුවළක් පැලඳීම හොඳ විසඳුම් බව අමතක කරන්න එපා. ඔබ දවල් දවස පුරා දෑස වෙහෙස වනවා නම්‍ රාත්‍රීයට හොඳ නින්දක් ලැබීමත් දෑසට හොඳ සත්කාරයක්.