beauty latest articles

හිස්සොරි වදෙන් බේරෙන්න ගෙදරදීම කරන්න පුලුවන් ස්වාභාවික සත්කාර 4ක්

හිස්සොරි කියන්නේ අපි වැඩි දෙනෙක්ට ටික කාලයකට හරි තියෙන  ප්‍රශ්නයක්. තාමත් හිස්සොරි නිසා පීඩා විඳින අය විවිධ ප්‍රතිකාර ඒ සඳහා කරමින් හිස්සොරි නැති කරගන්න මහන්සි ගන්නවා. හිස්සොරි තියන අයට තද පාට ඇඳුමක් අදින්න අමාරුයි. මොකද හිසේ තියෙන කුඩු වැටුණාම ඒක කැතට පේනවා. ඒ වගේම හිස්සොරි තියෙද්දි යම් අප්‍රසන්නතාවයකුත් ඇතිවෙනවා. මේ හිස්සොරි සදහා විවිධ ෂැම්පු වර්ග සහ ආලේපන වර්ග වෙළඳපොලේ මිලදී ගන්නට තියෙනවා. ඒත් ඒ කෘතිම නිෂ්පාදන වලින් තොරව ස්වභාවිකව හිස්සොරි නැති කරගන්න වැඩි දෙනෙක් කැමතියි. ඒ නිසා අද අපි ස්වභාවිකව හිස්සොරි නැති කරගන්න ක්‍රම කිහිපයක් ගැන තමයි අද අපි කියන්න යන්නේ

1 .සේර තෙල් එහෙමත් නැතිනම් ලෙමන්ග්‍රාස් කියන්නේ විවිධ රෝගාබාධ වලට භාවිතා කරන බලගතු ඔසුවක්. මේ සේර රුධිර පීඩනය අවම කරගන්න වගේම ආතතිය අඩු කරගන්නත් පාවිච්චි කරනවා. සේර වල ක්‍ෂුද්‍රජීවීන්  නැසීමේ බලයක් තියෙනවා. ඒ හරහා හිස් කබලේ හිස්සොරි වලට හේතුවන බැක්ටීරියා සහ දිලීර ඉවත් කරන්න මේ සේර තෙල් වලට පුළුවන්. පර්‍යේෂණයන් වලට අනුව හිස් කබලේ ඇති හිස්සොරි වලින් 80% අඩුකරන්නට සේර තෙල් වලට පුළුවන්. ඒත් මේ සේර තෙල් සමහර පුද්ගලයන්ට ආසාත්මිකතා ඇති කරවන්න පුළුවන්. සේර තෙල් කෙලින්ම හිසේ ගල්වන්න වගේම අවශ්‍ය නම් ඒවා වතුර හෝ වෙනත් ෂැම්පු වර්ගයක් එක්ක වුනත් භාවිතා කරන්න පුළුවන්.

2. කෝමාරිකා කියන්නේ ලංකාවේ ඕන තැනක වගාකරන පුළුවන් ශාකයක්. කෝමාරිකාවල තියෙන ඇමයිනෝ අම්ල සහ ප්‍රතිඔක්සිකාරක හිසේ තියෙන හිස්සොරි අඩු කරන්න ක්‍රියා කරනවා. පර්‍යේෂණයන්ට අනුව කෝමාරිකා මගින් සමේ තෙතමනය ආරක්‍ෂා කරනවා වගේම සමයේ ඇතිවන සුළු තුවාල සුවකිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම හිස්සොරි හැදෙන්න හේතු වෙන බැක්ටීරියා සහ දිලීර විනාශ කරන්නත් කෝමාරිකා වලට පුළුවන්. කෝමාරිකා කොළයක් කඩලා එහි යුෂය කෙලින්ම ලබාගෙන එය හිසේ ගල්වන්න පුළුවන්. එසේත් නැතිනම් වෙළෙඳපොළේ තියෙන ස්වභාවික කෝමාරිකා ජෙල් වුනත් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.

3. සැලිසිලික් අම්ලය කියන්නේ හිස්සොරි නැති කරන්න යොදා ගත හැකි එක සංඝටකයක්. සැලිසිලික් වලින් හිස්සොරි ඇතිවීම පාලනය කරනවා වගේම හිස පුරා හිස්සොරි ව්‍යාප්තියත් අඩු කරනවා. ඇස්ප්‍රින්වල සැලිසිලික් අම්ලය තියෙනවා. හිසරදයට වේදනා නාශකයක් ලෙස යොදා ගන්නා ඇස්ප්‍රින් පෙති දෙකක් හොඳින් කුඩු කරලා සාමාන්‍ය ෂැම්පු වර්ගයක් සමඟ පාවිච්චි කරන්න. එහිදී හිස මත මේ ඇස්ප්‍රින් අඩංගු ෂැම්පු වර්ගය විනාඩි තුන හතරක් තබන්නට අමතක කරන්න එපා.

4. බේකින් සෝඩා වල තියෙන සෝඩියම් බයිකාබනේට් වලින් හිසේ තියෙන මැරුණු සම් කොටස් අයින් කරන්න වගේම හිස මතුපිට තියෙන තෙල් ගතිය නැති කරන්නටත් හැකියාව තියෙනවා. ඒ වගේම හිස්සොරි වලට හේතු වෙන දිලීර නැති කරන්නත් මේ බේකින් සෝඩා වලට පුළුවන්. බේකින් සෝඩා වල තියෙන PH අගය සබන්, ෂැම්පු වලට වඩා බොහොම වැඩියි. ඒ නිසා ඒක හිසට සහ හිසේ සමට යම් බලපෑමක් සිදු කරනවා. නිතර නිතර  කොණ්ඩයට බේකින් සෝදා දැමීම අහිතකර වෙන්න පුළුවන්. ඒ නිසා යම් පාලනයකින් යුතුව පාවිච්චි කරනවානම් වඩාත් හොඳයි.