Celebrity Gossip

ආදරය කියන්නේ විවාහ නොවුනත් පිරිසිදු දෙයක්-ධනුක ඩිල්ශාන්

‘අපි කලාවට ආදරේ නම් කලාව හරියට කරනවානම් මිනිස්සුන්ට එයින් නිවැරදි පණිවුඩයක් දෙනවා නම් ඒක දෙන්නට ඕනෑ. නමුත් පාවිච්චි කරන බෙන්ස් එක හෝ තමා සතු සුපිරි රථයෙන් හෝ වෙනත් දෙයකින් නෙවෙයි පණිවිඩය දෙන්නට ඕන තමා කරන නිර්මාණය වෙතින්.’ මෙහෙම කියන්නේ අපි කවුරුත් දන්න දක්‍ෂ ආදරණීය රංගන ශිල්පියෙක් වන ධනුක ඩිල්ශාන්. මේ දිනවල ඔහුව අපට හමුවන්නේ පියාඹන මූනිස්සම් නාට්‍යයේ මෝක්‍ෂ කියන චරිතය සමඟයි. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙලා මේ විදියට කථා බහ කරල තිබුණා.

ධනුක පසුගිය දිනවල වැඩිය පේන්න නොසිටීම පිළිබඳව කියලා තිබුණේ මෙහෙමයි. “තණමල්විල කොල්ලෙක් නාට්‍යයෙන් පස්සේ වෙන වැඩක් බාර ගත්තේ නැහැ. එකෙන් පස්සෙ වැඩ කිහිපයක්ම ලැබුණත් අන්තිමේදි අනුරුද්ධ ජයසිංහ අයියගේ මේ වැඩේ තමයි භාරගත්තේ. මෙගා නාට්‍යවල වැඩ කරන්නේ නැහැ කියන අදහස එක්ක හිටියේ.”ධනුකගේ ප්‍රධාන වෘත්තීය පිළිබඳව කියලා තිබුනෙ මෙහෙමයි. “පොඩි කාලේ ඉඳලම රංගනය ගැන හිත යොමු කර නිසා වෘත්තීය කරගත්තේ රංගනය. ඒ වුණත් කලාව වෙතින් ජනතාවට, රටට යහපතක්, පණිවිඩයක් දීම හැර සල්ලි මත්තෙම ගිහින් ඕනෑම එකකට දායක වීම අරමුණු කර ගත්තේ නැහැ.”

ඔහු කියන විදියට කරන එක දෙයක් හෝ හරියට කරන්න ඕනෑ කියන මතය ආදරේදී ප්‍රේමයේදී බලපාන්නේ කොහොමද කියලා මෙහෙම කියලා තිබුනා. “අනිවාර්‍යෙන් එහෙම වෙන්න ඕනෑ. මම ආදරේ කරන්න පටන් ගත්තේ 11 වසර සිටින කාලයේදී. එයාව බඳින්න ඕනෑ කියලා මම ගෙදරට කිව්වා. ඒ ගැන තුන් හතර පාරක්ම කිව්වත් ඒක හරිගියේ නැහැ. පස්සේ පස්සේ ජීවිතේ ගැන අවබෝධ වෙන්න වෙන්න ආදරෙ කියන්නේ සිල්ලර දෙයක් නොවන වග වැටහුණා. ආදරය කියන්නේ විවාහ නොවුනත් පිරිසිදු දෙයක්. ඒ හැරත් මම සිල්ලරට ආදරය කරන කෙනෙක් නෙවෙයි. වසර හතර පහක සිට පෙම්වතියක් නැහැ. ඒත් ආදරේ මට ලැබෙනවා.”

ධනුකගේ වයසේ පසු වන ක්‍ෂේත්‍රයේ සිටින අනෙක් අය ක්‍ෂේත්‍රයේම අය එකම විවාහ වෙනවා. ඒ වගේ විවාහයක් ගැන ඔහු සිතන ආකාරය පිළිබඳ මෙහෙම කියලා තිබුණා. “විවාහයට මම හිතන්නේ ක්‍ෂේත්‍රය අදාළ වෙන්නේ නැහැ. එක සාපේක්‍ෂ දෙයක්. නමුත් ඉස්සර අපේ අම්මලා තාත්තලාගේ කාලයේ දී තිබූ ස්වභාවයට වඩා අද ප්‍රේමය වෙනස්. තාක්‍ෂණයේ පහසුව එක්ක ප්‍රේමය සහ  ප්‍රේම කරන විදිය වෙනස් වෙලා.”

පියාඹන මූනිස්සම් නාට්‍යයේ මෝක්‍ෂගේ චරිතය ඔහුට දැනෙන ආකාරය පිළිබඳව මෙහෙම කියලා තිබුණා. “කාලීන සමාජයේ තරුණයෙක්. සමාජයෙන් පිට සිට ඔහු සමාජයට සිදු වී ඇති දේ ගැන විපරමින් බලන කෙනෙක්. මිනිස්සු පිරිහිලා තියෙනවා. සමාජය පරිහානියට ලක් වෙලා. මේවා ඔහු දකිනවා. මිනිස්සු යාන්ත්‍රික වෙලා. ඉගෙන ගත් අයට ජොබ් නෑ. ඒ සමාජ ස්වභාවය දැකලා, ඊට සාපේක්‍ෂව තරුණ පරපුරට පණිවිඩයක් දෙන්න උත්සාහ කරන තරුණයෙක්.”

ධනුකගේ වයසේ සමහර තරුණයින්ට තියෙන්නේ සුපිරි මෝටර්  රථයක් ගැනීම වගේ සිහිනයි. ඒ වගේ සිහින නැද්ද කියන ප්‍රශ්නයට ඔහු පිළිතුරු දීලා තිබුනේ මෙහෙමයි. “ලංකාව වගේ රටක බෙන්ස් එකක් හරි වෙනත් සුඛෝපභෝගී රථයක් මිලදී ගැනීමේදී සීයට තුන්සියයක් විතර බද්දක් අයකරනවා. ඉතිං ඒ වගේ රටක බෙන්ස් එකක් ගන්නවා එකම මහා ගොන් අදහසක්. සල්ලි සාගරයක් තිබේ නම් විතරක් බෙන්ස් එකක් අරගෙන ඔලුවට බරක් නැතුව රෑට හොඳට නිදාගන්න පුළුවන්. ඒත් ලෝන් දාලා බෙන්ස් අරන් රැට නිදාගන්න බැහැනේ. මම කොහොමටත් කොළඹ කොල්ලෙක් හින්දා මේවා මට මහා ලොකු මැජික් නෙවෙයි. යථාර්ථය ගත්තොත් 300%ක් විතර tax ගහන රටක ණය නොවී කාර් එකක් ගන්නවා හැර ලෝන් දාලා අරගෙන ඇති වැඩක් නෑ. ඒක ඔළුවට මහා බරක්. ධනුක කියන්නේ ඉතාම සරලව ජීවත්වන කොල්ලෙක්.” කියලයි ඔහු අවසන් වශයෙන් කියලා තිබුණේ.