Celebrity Gossip

ඉපදුණ දවසේ ඉදන්ම දැක්කේ දේශපාලන.ඒ නිසාම මට ලංකාවේ දේශපාලනය ගැන තිබෙන්නේ කලකිරීමක් – කණිෂ්ක කවිරත්න

රසික සිත් වසඟයට ගන්නට සමත් වුණු මා නෙත්, අභිනික්මන, සීත මීදුම් යන ගීත නිර්මාණ තුළින් සංගීත ක්ෂේත්‍රයට තුළ හැඩ වැඩ පාන අලුත් නිර්මාණකරුවෙක් පිළිබඳ තතු ඔබ වෙත ගෙන එන්නයි අද අපේ සුදානම. සම්ප්‍රධාය බිඳ දමමින් දේශපාලන පවුල්වල දරුවන් දේශපාලනයට පිවිසීම වෙනුවට කලාවට පිවිසි ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව කවිරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්නගේ පුත් කණිෂ්ක කවිරත්නයි.

මුලින්ම ඔහු කතා කළේ මේ දිනවල ඔහුගේ වැඩ කටයුතු සහ නිර්මාණ කටයුතු පිළිබඳවයි. ” ජීවිතේ හොඳින් ගෙවෙනවා. මම අවුරුදු එකහමාරක් පමණ තිස්සේ සංගීත ක්ෂේත්‍රයේ සංගීත ගායකයෙක් ලෙස වගේම සංගීත නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කරනවා. මේ වන විට මම ගීත 4ක් එළිදක්වලා තිබෙනවා. මගේ පළමු ගීතය ‘අභිනික්මන’ එහි පද රචනාව සහ තනුව මගේ. නිසල් ගංගොඩගේ තමයි එහි සංගීත නිෂ්පාදනය සිදු කළේ. මගේ අප්පච්චි අපෙන් සමුගත්තේ 2014දී.

අප්පච්චිගේ සමුගැනීමත් සමඟ මට දැනුණු හැඟීම තමයි අභිනික්මන ගීතයේ පදවලට පෙරළුණේ. මේ ගීතය මගේ ළඟ බොහෝ කාලයක් තිබුණා. 2019දී නිසල් ගංගොඩගේ හමුවීමෙන් පසුව තමයි එය ගීතයක් ලෙස එළිදැක්වූයේ. ඊට පසුව 2020 දී මා නෙත් කියන ගීතයේ රොක් වර්ෂන් කියලා ගීතයක් කළා. එහි පදරචනාව සහ තනුව මගේ. සංගීත නිෂ්පාදනය නිසල් අයියගේ. ඒවගේම ගිය අවුරුද්දේ අවසාන භාගයේ සීත මීදුම් කියලා තවත් ගීතයක් කළා එය සන්තුස දිසානායක ලියූ ගීතයක්.”

ඔහු වෙනස් ගමනක් යන කෙනෙක්. ඉතින් මේ විදියට එකම ගීතයේම තවත් වර්ෂන් එකක් කිරීම ගැනත් ඔහු කතා කළා. ” ගීතය අහපු බොහෝ අයගෙන් ඉල්ලීම් ලැබුණා මෙහි පියානෝ වර්ෂන් එකක් කරන්න කියා. බොහෝදෙනෙක් පියානෝ වර්ෂන් කරන නිසා මට සිතුණා යම් වෙනසක් කරන්න. හාන්ස් සිමර් කියන සංගීතඥයාගේ නිර්මාණවලට මම බොහොම කැමැතියි. ඔහුගේ නිර්මාණ නිතර අහලා මට සිතුණා මගේ මේ ගීතයට ඔකෙස්ට්‍රා වර්ෂන් එකක් කරන්න. ඒ අනුව ගිය මාසේ ඒ ගීතයේ ඔකෙස්ට්‍රා වර්ෂන් එකක් කළා.”

ඒ අතරම ඔහු ගීතවලට ලැබෙන ප්‍රතිචාර ගැන කිව්වේ මෙහෙම කතාවක්. “ ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම සංගීත ක්ෂේත්‍රයට පැමිණියේ කවුරුත් නොදන්න අලුත් කෙනෙක් හැටියට. මිනිස්සු අඳුරගෙන ක්ෂේත්‍රය ගැන ඉගෙන ගෙන ආපු ගමනට බොහෝම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.” කියලයි ඔහු කියන්නේ.ඊළඟට ඔහු සංගීත නිෂ්පාදනයට පෙළඹීම ගැනත් කතා කළා. “ මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න පෙර, පාසල් කාලයේ සිටම මම සංගීතයට ළැදියාවක් දැක්වූවා. අවුරුදු දොළහක් පමණ සංගීත කණ්ඩායම්වලට සම්බන්ධ වෙලා ඩ්‍රම්ස් සහ ගිටාර් ශිල්පියෙක් ලෙස කටයුතු කළා. 2019 දී මගේ පළමු ගීතයේ සංගීත නිෂ්පාදනය කළේ නිසල් ගංගොඩගේ. ඔහු මට සංගීත නිෂ්පාදනය පිළිබඳව කියලා දුන්නා. එතැනින් පසුව තමයි මම සංගීත නිෂ්පාදනයට පෙලඹුණේ.”

ඔහු දේශපාලන පසුබිමක් සහිත පවුලක දරුවෙක්. සම්ප්‍රධායිකව සිදුවන්නේ දේශපාලන පවුල්වල දරුවන් දේශපාලනයටම පෙළඹීමයි. නමුත් කණිෂ්ක දේශපාලනය නොකර සංගීතය තෝරා ගන්න හේතුව ගැන අවසාන වශයෙන් ඔහු මෙසේ අදහස් දැක්වුවා. “ මගේ අම්මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. මගේ අප්පච්චිත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මම ඉපදුණු දවසේ සිටම දැක්කේ දේශපාලනය. සාමාන්‍යයෙන් අපි දීර්ඝකාලීනව යම් දෙයක් සමඟ සිටින විට එක්කෝ අපි ඒකට කැමැති වෙනවා නැත්නම් එයට අපි අකැමැති වෙනවා. ලංකාවේ දේශපාලනය ගැන මට තිබෙන්නේ කලකිරීමක්. 1999 පළාත් සභා ඡන්දෙදී අම්මාට නංගි ලැබෙන්න සිටියේ. අම්මා යන වාහනේ නවත්වලා අම්මාට පහර දුන්නා.

ඒ අවස්ථාවේ අම්මාට අමාරු වෙලා රෝහල් ගත කළා. 2001 මහ මැතිවරණයේදී අපේ නිවෙසේ කවුරුත් නොසිටි අවස්ථාවක යම් කිසි පිරිසක් පහර දුන්නා. අම්මා, මාවයි, නංගිවයි සැඟවූවේ කබඩ් එකක් ඇතුළේ. එවැනි දේශපාලන සදාචාරයක් තිබෙන තැනකට එන්න මට කැමැත්තක් නැහැ. කුඩා කාලයේ සිටම මම සංගීතයට ඇල්මක් දැක්වූ කෙනෙක්. මම පාසල් කාලයේ විවේකයක් ලැබුණු හැම අවස්ථාවකම සිටියේ සංගීත කාමරයේ. මම පාසලේදී ඩ්‍රම්ස්, ගිටාරය සහ පියානෝව වාදනය කරන්න ඉගෙන ගත්තා. එපමණක් නොවෙයි මගේ අම්මා කියන්නේ. මම කුඩා කාලයේදිත් හැඳි ගෑරුප්පු අරගෙන හට්ටි මුට්ටිවලට තට්ටු කර කර සිටි කෙනෙක් කියලා.”