latest articles life

හොඳ පෞරුෂයක් තියෙන මහත්මයෙක් හෝ මහත්මියක් වෙන්න උපදෙස් 5ක්

මහත්මයෙක් කියලා ගොඩක් වෙලාවට කට්ටිය කියන්නේ මනාව ඇඳ පැළඳ ගත්ත, විනීතව හැසිරෙන, හොඳට කතාබහ කරන පිරිමි කෙනෙක්ට​. හැබැයි මහත්මයෙක් කියන්නේ ඊට වඩා එහා ගියපු හික්මුණු ගතිගුණ තියෙන, බොහොම ගෞරවණීය, අගය කළ යුතු චරිත ලක්‍ෂණ තියෙන කෙනෙක්ටයි. ඒ වගේම මේ ගතිලක්‍ෂණ, චරිත ලක්‍ෂණ තියෙන්න ඕන පිරිමි කෙනෙක්ට විතරක් නෙවෙයි. ගැහැණු කෙනෙක්ටත් ඒවා තියෙන්න ඕන. එතකොට තමයි හොඳ පෞරුෂයක් තියෙන මහත්මියක් කියලා හදුන්වන්න පුලුවන් වෙන්නේ. අද මේ ලිපියෙන් අපි කියන්න යන්නේ නියම මහත්මයෙක් සහ මහත්මියක් වෙන්න කෙනෙක්ට තියෙන්න ඕන ගති ලක්‍ෂණ 5ක් ගැනයි.  

1.හොඳ පරිත්‍යාගශීලියෙක් වෙන්න​

ගොඩක් අය තව කෙනෙක්ට උදවු කරන්නේ මොනවහරි දෙයක් බලාපොරොත්තුවෙන්. හැබැයි ගොඩක් වෙලාවට මහත්මයෙක් හෝ මහත්මියක් තවත් කෙනෙක්ට උදවු කරන්නේ එහෙම කිසිම දෙයක් බලාගෙන නෙවෙයි. හැබැයි මේ උදවු කරනවා කියන්නේ කන්න බොන්න අරන් දෙන එක වගේ දේවල් නෙවෙයි. එයාලා උදවු කරන්නේ එයාගේ කාලය වැය කරලා, එයාලගේ උපදෙස් ලබාදීලා වෙන්න පුළුවන්. නමුත් ඒ උදව් කිරීමෙන් ආපිට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.

2.වෘත්තීයභාවය සහිත​ පුද්ගලයෙක් වෙන්න​

වර්තමානයේ හොඳ මහත්මයෙක් හෝ මහත්මියක් වෙන්න වෘත්තීයභාවය බලපානවා. ඒ කියනේ මූලික වශයෙන් තමන්ගේ වෘත්තිය ජීවිතය, පෞද්ගලික ජීවිතය පටලවා නොගැනීම සහ තමන්ගේ වෘත්තියට උපරිම සාධාරණත්වයක් ඉටු කිරීම, රැකියාව පාවිච්චි කරලා අයුතු ප්‍රයෝජන නොගැනීම, රැකියාවේ ගරුත්වය අනුව හැසිරීම වගේ දේවල්.  ඒ වගේම සුහදබව​, ගැටුම් නිරාකරණය කිරීමේ හැකියාව වෘත්තීමය පුද්ගලයෙක් ලෙස හදුනාගැනීමට සෘජුවම බලපානවා.

3.හොඳ ඇහුම්කන් දෙන්නෙක් වෙන්න​

ඇහුම්කන් දීම කියන්නේ කලාවක්. ඒකට හොඳ ඉවසීමක්, කාරුණිකත්වයක්, සහකම්පනයක් තියෙන්න ඕන. ඒ වගේම තව කෙනෙක්ගේ ජීවිතේ සංවර්ධනයට අවශ්‍ය උපදෙස් දෙන්න මේ අයට පුලුවන්. අනික් අයට බොහොම ඉවසිල්ලෙන් ඇහුම්කන් දෙන නිසා මෙයාලව ඇසුරු කරන්න ගොඩක් අය කැමතියි.

4.ආත්ම විශ්වාසය ඇතිකර ගන්න​

අපි කතා කරන විදියෙන්, ඇවිදින විදියෙන් ආත්ම විශ්වාසය පිටතට පේනවා. ඒ නිසා මහත්මයෙක් හෝ මහත්මියක් වෙන්න මේ ආත්ම විශ්වාසයත් ඉතාම වැදගත්. ඒ වගේ අය නායකයෝ විදියට ඉස්මතු වෙලා පේනවා. ආත්ම විශ්වාසය තියෙන කෙනෙක් කවදාවත් අනික් අයව පහළට දාලා කතා කරන්නේ නැහැ.

5.කැපවීමෙන් කටයුතු කරන්න​

හොඳ පෞරුෂයක් තියෙන මහත්මයෙක් හෝ මහත්මියක් කියන්නේ හොඳට මහන්සි වෙලා, කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් විදියේ කෙනෙක්. එයාලා කවදාවත් කම්මැලි වෙන අය නෙවෙයි. තමන්ගේ රස්සාවෙදි, පුද්ගලික කටයුත්තකදී, වෙනත් කෙනෙක්ගේ කටයුත්තකදී වුණත් කැපවීමෙන්, පිළිවෙලට ඒක කරලා ඉවර කරන කෙනෙක්. ඒ වගේ කෙනෙක් එක්ක ඕනම වැඩක් කරන්න අනික් අය ආසයි.