අපි දැන් විවාහ වෙලා අවුරුදු 6ක් වුනත් තාමත් එදා වගේම සතුටින් ඉන්නවා, අකිලට වගේම මටත් ක්‍රිකට් ගහන්න පුළුවන්-අකිලගේ බිරිඳ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාලයක් දඟපන්දුව භාරවී තිබුණ රටක් ආදරය කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි අකිල ධනංජය කියලා කියන්නේ. ඒ වගේම ක්‍රිකට් පිටියේ ඉතාම කෙටි කලකින් පෙරළියක් සිදුකළ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා බවට පත්වුණා. ඉතින් එවන් විශිෂ්ට ජයග්‍රහණය රැසක්ම ශ්‍රී ලංකාවට අත්කරදුන් අකිල ධනංජයගේ ආදරණීය බිරිඳ වන නෙතලි ටෙක්ෂිනී සමරවික්‍රම පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් දැන් ඔවුන් විවාහවෙලා අවුරුදු හයක් වෙනවා වුනත් එච්චර කාලයක් ගිහින් කියලා දැනෙන්නෙවත් නෑ කියලයි ඇය කියන්නේ. හැබැයි අවුරුදු හයක් ගියත් ඔවුන් ඉන්නේ අද ඊයේ විවාහ වූ දෙන්නෙක් වගේ හරිම ආදරෙන් කියලත් නෙතලි කියනවා. ඒ වගේම ඔවුන්ට දැන් අවුරුදු හතරක පුතෙකුත් ඉන්නවා.

ඒ වගේම අකිලට වගේම ඇයටත් හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන්ලු. මොකද ඇයත් ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා. හැබැයි ඉගෙනීම් කටයුතුවලට බාධාවෙයි කියලා හිතලා උසස් පෙළ පන්තිවලදි ක්‍රිකට් ගහන එක නතර කළා කියලයි ඇය කියන්නේ. ඒ වගේම අකිලව ඇයට මුණගැහුණෙත් ඇය ක්‍රිකට් ගහපු නිසා කියලත් ඇය කියනවා. මොකද අකිලයි ඇයයි දෙන්නම ගිහින් තියෙන්නේ පානදුර මහානාම විද්‍යාලයට. ඉතින් ඇය ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් පුහුණුවීම් කරද්දි අකිලත් එනවාලු පුහුණුවීම් කරන්න. ඉතින් ඔය අතරේ තමයි 2010 අවුරුද්දේ විතර අකිල ඇයගෙන් කැමැතිද කියලා අහලා තියෙන්නේ.

හැබැයි ඇයත් එකපාරටම අකිලට කැමැති වුණේ නැහැලු. ඉතින් චුට්ටක් විතර ගණන් ඉස්සුවත් ටික දවසක් යනකොට ඇයට තේරුණාලු අකිල කියන්නේ හරිම හොඳ කෙනෙක් කියලා. ඊට පස්සේ ඔවුන් අවුරුදු හතක් ආදරේ කරලා 2017 අවුරුද්දේ විවාහ වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඔවුන් විවාහ වෙන්න කලින් අකිල ජාතික කණ්ඩායමටත් තේරුණා කියලත් ඇය කියනවා.

ඉතින් ඔවුන් විවාහ වුනාට පස්සේ සෙල්ලම් කරපු පලවෙනි මැච් එකේ අකිල කඩුලු හයක් අරන් ඔහුගේ ක්‍රිකට් ජීවිතේ හොඳම පන්දු යැවීම කළා. ඉතින් එදා නම් ඇයට අමතක නොවෙන දවසක් කියලයි නෙතලි කියන්නේ. ඒත් අවාසනාවකට වගේ ඒ මැච් එක ලංකාව පැරදුණාත් එදා දිනුවා නම් තවත් සතුටුවෙන්න තිබුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය ගොඩක් ආසයිලු අකිල මීළඟ ලෝක කුසලානයේ සෙල්ලම් කරනවා දකින්න. ඉතින් ඔහුත් ලෝක කුසලානයට අවස්ථාව ලැබුණොත් රට වෙනුවෙන් හොඳටම සෙල්ලම් කරන්න බලාගෙන ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.