මට දැන් ඕස්ට්‍රේලියාවේ රෙස්ටුරන්ට් 3ක්ම තියෙනවා, පහුගිය දවසක සූපවේදී තරඟයකින් මට රන් පදක්කම හිමිවුණා-දොන් සර්මන්
නම ඇසූ සැනින් මතකයට එන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සූපවේදියෙක් වගේම ගායන ශිල්පියෙක් තමයි දොන් සර්මන් කියලා කියන්නේ. ඒ වගේම අපේ රටේ බොහෝ දෙනෙක් අදටත් ඔහුව හදුන්වන්නේ Siging Chef කියලයි. ඉතින් ඉහුම් පිහුම් කලාවේ දක්ෂයෙක් වගේම ගීත ගායනයටත් ඒ වගේම දක්ෂ ඔහු අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන යන්න මහත් වෙහෙසක් ගත්තා.
ඒ වෙනුවෙන් කාලයක පටන් සිහින දැක්ක, කාලයක පටන් වෙහෙස මහන්සි වුණු ඔහුට පසුගිය දවසක එහි ඵල නෙළා ගන්න හැකියාව ලැබුණා. ඉතින් ඔස්ට්‍රේලියාවේ සූපවේදීන් අතර පැවතුණ තරගයකින් රන් පදක්කමක් දිනා ගන්න ඔහුට හැකියාව ලැබුණා. ඉතින් දැන් පවුලේ හැමෝමත් එක්ක ඔස්ට්‍ර්ලියාවේ ජිවත් වෙන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ රෙස්ටුරන්ට් තුනක් ආරම්භ කරලා ඔහුගේ දක්ෂතාවයෙන් සාර්ථක ගමනක් යන්න ඔහුට හැකියාව ලැබිලා තියෙනවා. කොහොම නමුත් මුල් කාලයේ සූපවේදියෙක් විදිහට ඔස්ට්‍රේලියාවේ බොහෝ තැන්වල වැඩ කළා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම අද වන විට ඔහු ඔස්ට්‍රේලියාවට ගිහින් අවුරුදු දහයක් වෙනවා කියලත් දොන් කියනවා. ඒත් එක්කම දැන් ඔහු ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සූප ශාස්ත්‍ර පිළිබඳ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් සහ අගය කිරීමේ නිලධාරියකු ලෙසත් කටයුතු කරනවා. ඒ නිසාම ඔහුට දැන් එහෙ විශාල සිසුන් ප්‍රමාණයක් සිටිනවා.

ඒ වගේම ඔහු ඔස්ට්‍රේලියා සූපවේදීන්ගේ සංගමයේ නැතිනම් ඔස්ට්‍රේලියා කරනර් ෆෙඩරේෂන් එකේ සාමාජිකයෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් ඒ සංගමයේ පොදු වැඩ රාශියකට ඔහු එකතු වෙලා ප්‍රදර්ශන, සම්මන්ත්‍රණවලට සහභාගී වුණා කියලයි ඔහු කියන්නේ. ඒත් එක්කම එම රටේ තියෙන ඔස්ට්‍රේලියා ටෙක්නිකල් කියන සංගමයේත් ඔහු ඉන්නවා. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ පළපුරුද්ද සහ සුදුසුකම් තියෙන සූපවේදීන්ට විතරයි. ඉතින් ඔහු දැන් ඒ සංගම් දෙකේම මුල් කමිටු සාමාජිකයෙක් සහ පූර්ව කමිටු සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරනවා.
ඒ වගේම එම සංගම් දෙකේම වැඩිපුර ඉන්නේ ඔස්ට්‍රේලියානු සාමාජිකයන් වුනත් ඒ සාමාජිකයන් අතර ඔහු වැඩිපුර ජනප්‍රියත්වයක් හා අගය කිරීමක් දිනාගෙන සිටිනවා කියලත් ඔහු කියනවා. ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ සූප ශාස්ත්‍ර කලාව දියුණු කිරීම සඳහා ඔහුට හොඳ අවස්ථාවක් මේ සංගම් දෙක හරහාම ලැබී තිබීම විශාල ශක්තියක් කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහු රන් පදක්කම දිනූ තරගය සංවිධානය කරලා තියෙන්නේ ඔස්ට්‍රේලියානු සූපවේදීන්ගේ සංගමය විසින්. ඉතින් ඔවුන් ඒ තරගය පැවැතවූයේ Online ක්‍රමයට කියලත් දොන් කියනවා. ඒ වගේම එම තරගයේදී ඔහුට තිබුණේ ඔවුන්ගේ නිෂ්පාදන 40% භාවිත කරලා ඔහු විසින්ම නිර්මාණය කරගත් කෑමක හදලා එය වීඩියෝ කරලා Youtube එකේ ප්‍රදර්ශනය කිරීමලු. ඉතින් ඔහු ඒ කටයුත්ත ඉතාම සාර්ථකව කළා හොඳම රෙසිපිය ලෙස ඔහුගේ නිර්මාණයට රන් සම්මානය හිමිවෙලා තියෙනවා. ඉතින් ඒත් සමඟම ඒ සම්මානයට අමතරව ඉතාලි සංචාරයක් සඳහා අවස්ථාව ලැබුණා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.