මට ඕන වුනේ විවෘත වේදිකාවේ හොඳ ගායිකාවක් වෙන්න, මගේ තාත්තායි සැමියයි දෙන්නම කළා ක්ෂේත්‍රයට සම්බන්ධයි-පමුදි අපෝන්සු
ගායනයට, රංගනයට මෙන්ම නිවේදනයටත් එක ලෙස දස්කම් දක්වන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී කළා ශිල්පිනියක් තමයි පමුදි අපෝන්සු කියලා කියන්නේ. ඒ වගේම කුඩා කාලයේදීම රංගනයට අත්පොත් තැබූ ඇය වසර ගණනාවක සිටම නිවේදනයේ සහ ගායනයේ යෙදෙනවා. ඉතින් වොයිස් රියැලිටි වැඩසටහනෙන් ලඟදි ඉවත් වුනු ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් විනිශ්චය මණ්ඩලයේ හොඳ ප්‍රතිචාර වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිසා ඇයව වොයිස් තරඟාවලියේ බ්ලයින්ඩ් ඔඩිෂන්, බැට්ල් රවුන්ඩ් හරහා නොකවුට් රවුන්ඩ් එක දක්වා රැගෙන ආවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම එතනදි ඇයට ඉවත් වෙන්න සිදු වුණත් ප්‍රථම වතාවට මෙවර හඳුන්වා දුන් කම්බැක් ස්ටේජ් සංකල්පය නිසා නැවතත් ඇයට තරගයට අවතීර්ණ වෙන්න අවස්ථාව ලැබුණා කියලත් ඇය කියනවා. ඉතින් අත්දැකීමක් ගන්න හිතාගෙන අයැදුම් කළත් මේ තරම් දුර එන්න ලැබුණ එක වාසනාවක් කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම මේ ලබාගත් අත්දැකීම් හා පන්නරය ඇයගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් කියලත් පමුදි කියනවා.

කොහොම නමුත් ඇයට ඕන වුණේ විවෘත වේදිකාවේ හොඳ ගායිකාවක් සහ හොඳ පෆෝමර් කෙනෙක් වෙන්නලු. මොකද ඒ වගේ ගායිකාවො ඉන්නෙ අතළොස්සක් නිසා. ඒ වගේම ඇය අභියෝග හොයාගෙන ගිහින් කැමැත්තෙන්ම ඒවා භාර අරන් අභියෝගවලට අභියෝග කරන කෙනෙක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයට හැකියාවන් කිහිපයක්ම තියෙන නිසා ඒ එකක්වත් අත්නොහැර ගායනයට වැඩි අවධානයක් හා නැඹුරුතාවක් දෙන්නලු ඇයට ඕන.
ඒ වගේම ඇයගේ තාත්තා තමයි දීපාල් අපෝන්සු. ඉතින් මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශනය වන අපි එක රෑනේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණය වගේම තිර රචනයත් සිදුකරන්නේ ඔහුයි. ඒ වගේම ඇය පුංචි කාලෙ ඉඳන්ම තාත්තාගේ නිර්මාණවලට සම්බන්ධ වුණා කියලත් පමුදි කියනවා. ඊට අමතරව වෙස්ගත්තෝ රයිගම් ටෙලීස්හි සම්මානයට පාත්‍ර වුණු සුදත් රෝහණයන්ගේ ‘මාණික්කාවත’ වගේ නාට්‍යවලටත් ඇය රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒත් එක්කම පී. නන්දසේනයන්ගේ ‘සුළඟ ඔබ ළඟ’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන්නටත් ඇයට අවස්ථාව ලැබුණා.

ඒ වගේම ඇය මුලින්ම සියත යුවතිපති වැඩසටහන හරහා තමයි නිවේදන ශිල්පිනියක් ලෙසින් එකතු වෙන්නේ. ඊට පස්සේ ප්‍රියාල් වීරසිංහ සහ චලනි සිරිවර්ධනගේ සහායෙන් ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වෙන්න ඇයට අවස්ථාව හිමිවෙලා තියෙනවා. ඒත් එක්කම ඇයට නවකයෙක් විදිහට ‘සූරිය විමන’ වගේ දැවැන්ත වැඩසටහනක් කරන්නත් අවස්ථාව ලැබුණා. ඉතින් පිනි වියන, ශනිදා සාදය, මියුසික් @ 11, අයි.ටී.එන්. ලිය වරුණ, ලිය අභිමානී, සූර්ය මංගල්‍යය අයි. ටී. එන්. අවුරුදු කුමරා කුමරිය වගේ වැඩසටහන් ඉදිරිපත් කරීමටත් ඇයට අවස්ථාව ලැබීම වාසනාවක් කියලයි පමුදි කියන්නේ.

ඒ වගේම ඇයගේ ආදරණීය සැමියාත් කලාවට සම්බන්ධ කෙනෙක්. ඉතින් ඇයගේ ජීවිතේට මුණ ගැහුණු ඇයට වැඩිපුරම දැනුණු ගැඹුරුම හා ශ්‍රේෂ්ඨතම ආදරය ඇය විවාහ කරගත්තා කියලත් පමුදි කියනවා. ඔහු තමයි ඒෂාන් ජයවර්ධන. ඉතින් සාමාන්‍ය කෙනෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරම් ආදරයක්, ඉවසීමක්, කැපවීමක් හා දරාගැනීමක් ඔහු තුළ තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඔහුත් කලාවට සම්බන්ධ කෙනෙක් නිසා මේ වෘත්තීය ගැන තේරුම් අරන් සියල්ල දරාගෙන ඇයට ලබාදෙන සහාය ගොඩක් වටිනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.