මම රඟපෑවේ පිටකොටුවේ පේමන්ට් එකේ විකිනෙන්න නෙමෙයි, කොහෙන් පටන් ගත්තත් නවතින්නේ ඉගිලෙන මාළුවෝගෙන්-සම්පත් ජයවීර
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කී ටෙලිනාට්‍යයේ අනුරගේ චරිතයෙන් සහ කෝලංකුට්ටම ටෙලි නාට්‍යයේ දොලේ බොස්ගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි සම්පත් ජයවීර කියලා කියන්නේ. ඒත් එක්කම කාලයක් කතාබහට ලක් වුණ ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයත් වීමත් සමඟම නැවතත් කතා බහට ලක්වෙන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තිබුණා.

ඉතින් ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය දැනට අවුරුදු කිහිපයකට කලින් අයථා විදිහට සමාජගත වුනත් ඒ එළියට ආවේ නියම චිත්‍රපටය නෙමෙයි කියලයි ඔහු කියන්නේ. මොකද සංස්කරණය, වර්ණ සංයෝජනය, ශබ්ධ සංයෝජනය නොකළ, එහෙමත් නැතිනම් අන් එඩිටින් චිත්‍රපටයට තමයිලු ඒ විදිහට එළියට ආවේ. කොහොම නමුත් එතනදි ප්‍රශ්න රාශියක් මතු වුණා කියලත් ඔහු කියනවා. නමුත් නියම චිත්‍රපටය එළියට ආවම බොහෝ දෙනෙක් පුදුම වුණේ එහෙම ප්‍රශ්න මතුවෙන්න තරම් දෙයක් මේ නිර්මාණය තුළ නොතිබීම ගැන කියලත් ඔහු කියනවා.

ඒ වගේම ඔහුට සහ ගයේෂාට බොහොම සමීප අයගෙන් පවා ලැබුණෙ අයහපත් ප්‍රතිචාර කියලයි ඔහු නම් කියන්නේ. ඉතින් ඔහු සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්නෙ ඒක සිනමා ශාලාවෙ තිරගත වෙනව බලන්න මිසක එක එක්කෙනාගෙ ෆෝන්වල, ලැප්ටොප්වල කොටස් කොටස් තියාගන්නවත්, පිටකොටුවෙ පේමන්ට් එකේ විකිණෙන්නවත් නෙමෙයි කියලත් ඔහු කියනවා. මොකද මූලික අරමුණ සිනමා ශාලාවක තිරගත වීම නිසා. ඉතින් ඒ බලාපොරොත්තුව අවුරුදු දොළහකට පස්සෙ ඉටු වුණා කියලයි සම්පත් කියන්නේ.
ඒ වගේම කාලෙන් කාලෙට ඔහු රඟපාන ටෙලි නාට්‍ය, චිත්‍රපට, වේදිකා නාට්‍ය එන නිසා ඒවා යම්කිසි මට්ටමකට එනකොට ඔහුට මාධ්‍ය ආයතනවලින් කතාකරනවාලු. නමුත් ඒ මොන දෙයක් කළත් ඒක ඉවර වෙන්නෙ ඉගිල්ලෙන මාලුවන්ගෙන් කියලයි ඔහු කියන්නේ. ඉතින් පසුගිය අවුරුදු දොළහ තුළම සිදු වුණේ මේ දේම නිසා දැන් චිත්‍රපටය බලලම ඕන කෙනෙකුට ඒ ගැන කතා කරන්න පුළුවන් කියලත් ඔහු කියනවා.

ඒ වගේම ලංකාව තුළ වේදිකා නාට්‍ය කලාව පවතින්නෙ ඒ තුළම ඉන්න අයගෙ උනන්දුව නිසාම හැරෙන්න වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි කියලයි ඔහු නම් කියන්නේ. කොහොම නමුත් රජයට නාට්‍ය කලාවක් අවශ්‍ය නැහැ කියලත් සම්පත් කියනවා. ඉතින් මෙච්චර බංකොළොත් රටේ නිදහස් උත්සවයක් තියන්න සල්ලි තිබුනට රාජ්‍ය නාට්‍ය උළෙල පවත්වන්න සල්ලි නැහැ කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.